රුපියල පා කර හරින වෑයමක් – ඉදිරි අය වැය ගැන රනිල් වේලාසනින් රටට හෙළි කරයි !

2016.06.10 ranil

විනිමය පාලන ලිහිල් කිරීම පිළිබද අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුවේ ආර්ථික ගමන පිළිබද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

අගමැතිවරයා මෙසේ විනිමය පාලන නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ පසුගිය 9 වැනිදා පාර්ගිමේන්තුවේදීය. ඒ අනුව ඉදිරි අයවැයෙන් සිදුකරන ප්‍රතිසංස්කරණ නිසා රටේ ආර්ථිකය තුළ දැඩි බලපෑමක් සිදුවන්නට නියමිතය. විනිමය පාලන නීති මගින් රුපියලේ අගය ඉහළ පහළ යාම පාලනය කිරීමේ අයිතිය පවරා ඇත්තේ මහ බැංකුවටය. එම නීතිය අහෝසි කිරීමකදී රැපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කොපමණදැයි තීරණය කිරීමට ලංකාවේ මුල්‍ය පාලන වගකීම සහිත මහබැංකුවේ විනිමය පාලන අංශයට හිමි නොවේ.

එය වෙළෙදපොළ නියාමයන්ට අනුව රුපියලට හැසිරෙන්නට ඉඩ හැරීමකි. ඒ සමගම රුපියලේ අගය උච්චාවචනය වන්නට පටන් ගනු ඇති අතර විවෘත වෙළෙදපොළේ ඉල්ලුම – සැපයුම න්‍යායට අනුව රුපියලේ වටිනාකම තීරණය වන්නට ඉඩකඩ විවර වනු ඇත. එහෙත් අගමැතිවරයා පවසන ආකාරයට එවැන්නක් සිදු වුවහොත් ආනයනික භාණ්ඩවල මිල ඉහළයාම සීග්‍රයෙන් සිදුවනු ඇත. එහිදී ආනයනය කරන භාණ්ඩ එදිනෙදා ජීවිතයේදී පරිහරණය කරන සාමාන්‍ය ජනතාවට එය මහත් පීඩාවක් වන්නට නියමිතය.