අධ්‍යයන චාරිකාවක් සඳහා යම් පළාත් සභාවක නියෝජිත පිරිසක් විදේශ ගත වන්නේ නම් ඊට භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය මගින් කළ නිවේදනයක් මගින් මෙම නියෝගය පිළිබඳ දැනුම් දී තිබේ. අදාල නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ 2017 වසරේ සිට කිසියම් පළාත් සභාවක මැති ඇමතිවරුන් අධ්‍යයන චාරිකා සඳහා විදේශගත වීමේ දී අනිවාර්යයෙන්ම රාජ්‍ය භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතු බවයි.
වසර 20කට වැඩි කාලයක් දිවයිනේ සියලු පළාත් සභාවල මැති ඇමතිවරුන් රජයේ මුදලින් විදේශ සංචාරයන්ට සහභාගී වීම අඛණ්ඩව සිදුව ඇති බවත්, මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රී කණ්ඩායමක් අති විශාල මුදලක් වැය කර රුසියාවේ සංචාරයක නිරත වී ඇති බවත්, ඒ ආකාරයේ අති විශාල මුදලක් විදේශ සංචාරයක් වෙනුවෙන් වැය කිරීම පිළිබඳව ජනාධිපතිවරයා මෙතෙක් දැනුවත් වී නොමැති බවත්, ඒ පිළිබදව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ රුසියානු සංචාරය නතර කරන ලෙස ජනාධිපතිවරයා විසින් තමාට දැනුම්දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි. කෙසේවෙතත් මධ්‍යම පළාත් සභාව නියෝජනය කරමින් තිස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද අලුයම රුසියාවේ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ. ලබන පස්වන දින මධ්‍යම පළාත නියෝජනය කරමින් තවත් කණ්ඩායමක් රුසියාවේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය අවලංගු කිරීමට පියවර ගත් බව නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළාය.