අද පවතින්නේ මාධ්‍ය සමාජයක් යැයි කියනු ලැබේ. ඊට හේතු වී තිබෙන්නේ ජනමාධ්‍ය විසින් සමාජයේ විශාල කලාපයක් පුරා බලය පතුරුවා තිබීමයි. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රීය සමාජයක දෙවැනි ආණ්ඩුව ලෙසින්ද මාධ්‍ය හඳුන්වයි. රටක පාලනය පිළිබඳ තොරතුරු ජනතාව වෙත ගෙන යාමත් ජනතාවගේ මතය ප‍්‍රකාශයට පත් කිරීමත් මාධ්‍ය මගින් සිදු වන දේ ලෙස පිළිගැනෙයි. ඊටත් එහා ගොස් සමාජයේ මත සකස් කිරීමේ කාර්යයද මාධ්‍ය විසින් ඉටු කරනු ලබයි.
මාධ්‍ය ජනතාවට ඇත්ත කිව යුතු යැයි පොදුවේ පිළිගන්නා කරුණකි. එහෙත් එය එසේ වේද ලංකාවේ ජනමාධ්‍ය විශාල වශයෙන් ප‍්‍රචලිත වන්නට පටන් ගත්තේ 1980 දශකයෙන් පසුවයි. විශේෂයෙන්ම 1990 දශකය ආරම්භයත් සමග පෞද්ගලික ගුවන්විදුලි නාළිකා සහ රූපවාහිනී නාළිකා රාශියක් ආරම්භ විය. පුවත්පත් ආයතන විශාල ගණනක්ද ආරම්භ විය. 80 දශකයට පෙර පැවැති පුවත්පත්වලින් බහුතරයක් විවිධ සංවිධානවල දේශපාලන අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් බිහි වූ ඒවා විය. 80 දශකයෙන් පසුව ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයටද විශාල වශයෙන් ප‍්‍රාග්ධනය කඩා වදින්නට විය.
රාජ්‍ය මාධ්‍ය ඇත්ත නොකියන බවත් රාජ්‍ය මාධ්‍ය පවතින ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරන බවත් සත්‍යයකි. ඒ බව දැන සිටි පාඨකයන්, ශ‍්‍රාවකයන්, පේ‍්‍රක්ෂකයන් වේගයෙන් පෞද්ගලික මාධ්‍ය වෙත ආකර්ශනය වූයේ තවත් හේතු ගණනාවක් අතරට පෞද්ගලික මාධ්‍යය ඇත්ත කියන බවට වන විශ්වාසයද එක් කර ගනිමිනි. එහෙත් මේ වන විට එම විශ්වාසයද බිඳ වැටී තිබේ. පෞද්ගලික මාධ්‍යයද තමන් හිතවත් දේශපාලන කඳවුර වෙනුවෙන් කොන්ත‍්‍රාත් ඉටු කරන ආයතන පමණක් බව මේ වන විට ඒත්තු ගොස් තිබේ. අද තත්වය සලකන්නේ නම්, සියලූම මාධ්‍ය කණ්ඩායම් තුනකට බෙදී සිටින බව පෙනේ. එක් කණ්ඩායමක් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන අතර තවත් කොටසක් මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රමුඛව ඇති දේශපාලන ක‍්‍රියාකාරීත්වයට අනුබල දෙයි. තවත් කොටසක් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටස්කරුවෝ වී සිටිති. විකල්ප මාධ්‍ය ලෙස පවතින මාධ්‍යයද මීට වසර කිහිපයකට ඉහත දක්වා රැකගත් ස්වාධීනත්වයේ වැරහැළි උනා දමා ඉහත කී දේශපාලන ව්‍යාපෘතිවල ප‍්‍රචාරකයන් වී සිටින බව පෙනෙන්නට තිබේ.
මේ තත්වය තුළ එකී මාධ්‍ය විසින් ජනතාව වෙත නිරාවරණය කරන්නේ සත්‍යයෙන් කොටසක් පමණි. ඇතැම් විට සත්‍යය ඇබින්දක් සමග තමන්ගේ දේශපාලන අරමුණු කලවම් කොට තනා ගත් නව ප‍්‍රබන්ධ පමණි. ඒවා බැලීමෙන් එම මාධ්‍ය සේවය කරන්නේ කවර දේශපාලන ව්‍යාපෘතියටද යන්න තේරුම් ගැනීම හැර වෙනත් දෙයක් දැන ගත නොහැකිය.
මේ සත්‍යය කියන බව කියන මාධ්‍යවල එක් පැත්තකි. එහි තවත් පැත්තක් වන්නේ “මාධ්‍ය මුදලාලිකරණය වීම“ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන මාධ්‍ය ක්ෂේත‍්‍රයට ප‍්‍රාග්ධනය කඩාවැදීමේ පාර්ශ්වයයි. එය මාධ්‍යය ආයතනවල දේශපාලන ගැතිභාවයට වඩා තේරුම් ගැනීම දුෂ්කර සහ සංකීර්ණ එකකි.
රුපියල් 50ක මිලට අප අතට එන ඉරිදා ජාතික පුවත්පතක් නිෂ්පාදනය කිරීමට යන වියදම එහි මිල මෙන් කිහිප ගුණයකි. ප‍්‍රධාන පුවත්පත් කිහිපයක් සැලකුවහොත් ඒවායේ නිෂ්පාදන වියදම රුපියල් 100 සිට 500 පමණ දක්වා පරාසයක විහිදී තිබේ. සරල ගණිතයකින් තේරුම් ගැනීමට උත්සාහ කළොත්, නිෂ්පාදන වියදම රුපියල් 250ක් වන පුවත්පතක පිටපත් ලක්ෂයක් මුද්‍රණය කිරීමට රුපියල් ලක්ෂ 250ක් වැය වේ. එහෙත් ආදායම ලැබෙන්නේ ලක්ෂ 50කි. ඉතිරි ලක්ෂ 200 සොයා ගන්නේ කෙසේද? පුවත්පතක් රුපියල් 250කට කිසිදු පාඨකයකු මිල දී නොගන්නා නිසා නිෂ්පාදන වියදම පාඨකයන්ගෙන් අය කර ගත නොහැක. වෙළෙඳ දැන්වීම් පැමිණෙන්නේ මෙම හිඩස පියවීමටයි.
වෙළෙඳ දැන්වීම්වලින් තොරව පුවත්පතක් පවත්වාගෙන යා නොහැකි බව ඉහත උදාහරණය සාක්ෂි දරයි. ඒ නිසා මාධ්‍ය ආයතනයක් ආකාර දෙකකින් පැමිණෙන ප‍්‍රාග්ධනයේ ග‍්‍රහණයට සිර වී තිබේ. එක් ආකාරයක් මාධ්‍ය ආයතනයේ හිමිකාරීත්වයේ ප‍්‍රාග්ධනයයි. අනෙක් ආකාරය පුවත්පතට වෙළෙඳ දැන්වීම් ලබා දෙන සමාගම්වල ප‍්‍රාග්ධනයයි. මේ ප‍්‍රාග්ධන හිමියන් දෙගොල්ලන්ගේම අරමුණ ලාභය වන නිසා නිසැක ලෙසම ඔවුහු තමන්ගේ ලාභය ආරක්ෂා කර ගැනීමට උත්සුක වන බව පැහැදිලිය. එහි ප‍්‍රතිඵලය නැවත වතාවක් සත්‍යය ඔවුන්ගේ පෙරහන් කඩදාසි තුළින්ද පෙරී පැමිණීමයි.
කොකාකෝලා සමාගම මාසයකට එක් එක් මාධ්‍යය ආයතනවල රුපියල් මිලියන කිහිපයක සිට කෝටි කිහිපයක් දක්වා වෙළෙඳ දැන්වීම් ලබා දෙන බව ප‍්‍රකට කරුණකි. මීට මාස කිහිපයකට පෙර කොකාකෝලා සමාගමේ නිෂ්පාදනාගාරයේ දෝෂයක් නිසා කැලණිය ගඟේ ජලය විශාල වශයෙන් ¥ෂ්‍ය විය. දින කිහිපයක් යන තුරු කොළඹ අවට ලක්ෂ ගණනක් ජනතාව පානය කළේ තෙල් මුසු එම අපිරිසිදු ජලයයි. එහෙත් ප‍්‍රධාන පෙළේ මාධ්‍ය කිසිවක් “කොකාකෝලා“ සමාගමේ නම සඳහන් කරමින් අදාළ ප‍්‍රවෘත්තිය පළ කළේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ සමාගමේ නම රහිතව “එක්තරා සමාගමක්“ යන යෙදුම සහිතව පුවත පළ කිරීමයි.
මාධ්‍ය හිමිකරුවන්ගේ අපේක්ෂාව ලාභයයි. ඔවුන් ලාභ ලබන්නේ සමාගම් විසින් ලබා දෙන මිලියන ගණනක් වටිනා දැන්වීම් මගිනි. ඒ නිසා තමන්ට දැන්වීම් ලබා දෙන හෝ ඉදිරියේදී දැන්වීම් ලබා ගැනීමට අපේක්ෂා කරන කිසිදු සමාගමක් සම්බන්ධයෙන් සත්‍ය තත්වය මාධ්‍ය වාර්තා කරන්නේ නැත. එය එසේවීම අප තේරුම් ගත යුත්තේ මාධ්‍ය හිමිකරුවන්ගේ ලාභ අපේක්ෂාව නිසා ඔවුන් සත්‍ය වසන් කරන්නේය යන සරල තර්කය මත පිහිටා නොවේ. පුවත්පතක නිෂ්පාදන වියදමටම එහි මිල නියම කළත් කිසිදු පාඨකයකුට සතිපතා පුවත්පතක් මිලදී ගත නොහැකිය. පාඨකයාට මිලදී ගත හැකි මට්ටමකට මිල පවත්වාගෙන යන්නේද වෙළෙඳ දැන්වීම්වල ආධාරයෙනි. ඒ නිසා වෙළෙඳ දැන්වීම් අහිමි වීම පුවත්පතක් පවත්වාගෙන යාම පවා අර්බුදයට යවන්නකි. විද්‍යුත් මාධ්‍යයටද මෙය පොදු සත්‍යයකි. විද්‍යුත් මාධ්‍යවල නිෂ්පාදන වියදම පුවත්පත්වලට වඩා වැඩිය. විශාල සමාගම්වල ග‍්‍රහණයට මාධ්‍ය ආයතනය හසු වී තිබෙන්නේ මේ ආකාරයෙනි. ප‍්‍රාග්ධනය සිය ආධිපත්‍ය ජනමාධ්‍ය මත පතුරුවන්නේ මෙම සංකීර්ණ ක‍්‍රියාවලිය හරහාය.
ලංකාවේ සියලූම මාධ්‍ය ආයතන වෙනසකින් තොරව රක්ෂණ සමාගම්වල දැන්වීම් පළ කරති. මාසයකට එක් මාධ්‍ය ආයතනයකට ලැබෙන රක්ෂණ සමාගම්වල දැන්වීම්වල වටිනාකම රුපියල් කෝටි ගණනක් වේ. ඒ සෑම මාධ්‍යය ආයතනයකම අධිකරණ වාර්තාකරුවෝ සිටිති. ඔවුන් කිසිවකුත් රක්ෂණ සමාගම්වලට එරෙහිව දිනපතා අධිකරණවල විභාගවන නඩු වාර්තා කරන්නේ නැත.
2001 වසරේ ලංකාවට ගෙන එන ලද මදුරු දඟර තොගයක් මිනිස් ශරීරයට අතිශයින් අහිතකර බවත් ඒවා රේගුවෙන් නිදහස් නොකළ යුතු බවත් විශේෂඥයෝ නිර්දේශ ඉදිරිපත් කළහ. එහෙත් එම මදුරු දඟර තොගය නිදහස් කෙරුණු අතර වෙළෙඳපොළේ අලෙවියට බෙදා හැරිණි. කිසිදු මාධ්‍යයක් ඒ පිළිබඳ පුවත් වාර්තා කළේ නැත. ඒ වෙනුවට එම මදුරුදඟර සමාගමේ දැන්වීම්වලින් පත්තර පිටුත් රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල ගුවන් කාලයත් පිරී ගියේය.
මේ උදාහරණ මගින් කියවෙන්නේ යම් යම් ආයතන පිළිබඳ තොරතුරු වාරණය කරන බවයි. එහෙත් එය ඊට පමණක් සීමා වී නැත. ආහාර නිෂ්පාදන සමාගමක දැන්වීම් ලබා ගැනීම සඳහා යම් යම් රසකාරකවල හානිකර පැත්ත සඟවා ඒවා හිතකර ඒවා ලෙස හුවා දක්වමින් පන්නයේ සිට ජනතාවගේ මනෝභාවයන් සිතුම් පැතුම් වෙනස් කරවන මැදිහත්වීම් දක්වා මාධ්‍යවල ක‍්‍රියාකාරී පරාසය පළල්ය. උදාහරණයක් ලෙස හදිසියේම පොල්තෙල් මිනිස් පරිභෝජනයට අහිතකර බව වෛද්‍යවරුන් රොත්තක්ම මාධ්‍ය හරහා අදහස් දක්වන්නට පටන් ගනී. ඒ පිටුපස ගණින්නේ ෆාම් තෙල් සමාගමක මුදල් විය හැකිය.
මාධ්‍ය හිමිකරුවන් සමාජයට පෙන්වන මානව හිතවාදී මුහුණ මාධ්‍ය ආයතනයේ සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නැත. මාධ්‍ය ආයතන තුළ සිදු වන්නේ විශාල ශ‍්‍රම සූරාකෑමකි. මීට වසර කිහිපයකට පෙර ගුවන් විදුලි නාලිකාවල නිවේදකයන්ට තමන්ගේ අනන්‍යතා ගොඩනගා ගැනීමට ඉඩ දුන් නමුත් දැන් බොහෝ පෞද්ගලික ගුවන් විදුලි නාලිකා සිය නිවේදක, නිවේදිකාවන්ට අකුරු දෙකේ තුනේ නම් කෑලි ලබා දෙයි. බරපතළම සූරාකෑමට ලක් වන්නේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ය. ඔවුන්ට ගෙවීම් කරන්නේ ඔවුන්ගේ පුවත පළ වුවහොත් පමණි. මාස ගණනාවකින් ගෙවීම් නොලැබ පීඩාවට පත් වූ ප‍්‍රාදේශීය මාධ්‍යවේහු විශාල පිරිසක් මැසිවිලි නඟමින් සිටිති.
ප‍්‍රාග්ධනයේ ග‍්‍රහණයෙන් මිදුණු මාධ්‍ය ලෙස විකල්ප පුවත්පත් කරලියට ආවේ මේ තත්වයට පිළියමක් ලෙසිනි. එහෙත් ගැටලූව වන්නේ විකල්ප පුවත්පත් විසින් ආවරණය කරනු ලබන්නේ සමස්ත පාඨකයන්ගෙන් ඉතා සුළු ප‍්‍රතිශතයක් පමණක් වීමයි. ඇතැම් රටවල ප‍්‍රාදේශීය විකල්ප ගුවන් විදුලි නාලිකා තිබුණත් ලංකාවේ එවැනි ඒවා ක‍්‍රියාත්මක නොවේ. ඊට ලංකාවේ පවතින නීතියද බාධාවක් වී තිබේ. දැනට විකල්ප මතයක් ප‍්‍රකාශ වන්නේ සමාජ ජාලා වෙබ් අඩවිවලිනි. ප‍්‍රධාන මාධ්‍ය අධිපති පන්තියේ වැඩපිළිවෙළක් සමග සංවිධානගතව ක‍්‍රියාත්මක වන බැවින් සමාජ ජාලාවල සිදුවන විකල්ප දේශපාලන වැඩපිළිවෙළකින් වියුක්ත වූ හුදකලා මත හා හැඟීම් ප‍්‍රකාශනවලින් මේ මොහොතේ සමාජයට අත්‍යවශ්‍ය මෙහෙවර සිදු වෙතැයි බලාපොරොත්තු විය නොහැක.
“වම“ පුවත්පතෙන් උපුටා ගැනිනි.