ප්‍රවීණ මාධ්‍යවේදියෙකුව සිටියදී, අබිරහස් ලෙසින් ඝාතනය වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුරේ අස්ථි කොටස් පොලිස් ආරක්ෂාව යටතේ අද (27) පෙරවරුවේ ගොඩගැනිනි. උදෑසන 8.30 සිට දහවල් 11.30 දක්වා කාලය තුළ ගොඩගත් වික්‍රමතුංග මහතාගේ අස්ථි කොටස් පොලිස් ආරක්ෂාව මධ්‍ය යේම අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ගෙන යනු ලැබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 08වනදා කළ ඉල්ලීමකට අනුව අද (27) දින දේහය ගොඩගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කර තිබුණු අතර, එම නියෝගයට අනුව සිරුර ගොඩගැනීමේ කටයුතු සිදුවේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බැවින් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව දේහය ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙම අවස්ථාව ආවරණය කිරීමට කිසිදු මාධ්‍යකට වාර්තා කිරීමට අවසර නුදුන් අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්‍රමතුංග පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිනා නීතිඥවරයා පැවසුවේ පවුලේ සාමාජිකයින්ගේ ඉල්ලීමක් මත එම අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍ය වෙත අවස්ථාව ලබා දිය නොහැකි බවයි.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අදාල නීතිඥවරයා පැවසුවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සම්පුර්ණ අස්ථි පද්ධතිය විනාශ නොවී තිබුණු බවත්, ඔහු ඝාතනය කර ඇත්තේ ගිනි අවියකින් වෙඩි තැබීමකින්ද, නැතහොත් විදේශයකින් ආනයනය කරන ලද උල් ආයුධයකින්ද යන්න සොයා ගැනීම සඳහා පරීක්ෂා කිරීමට මෙම අස්ථි කොටස් ගොඩගත් බවයි.





