අධ්‍යාපනය විකිණීමට මාලඹේ SAITM හොර උපාධි ආයතනයට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කරන දෙදින විරෝධතාව අද(13) දහවල් කොළඹදී ආරම්භ විය.
මාළඹේ SAITM ආයතනයට රාජ්‍ය පිළිගැනීමක් ලබාදීමට එරෙහිව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ගිය අඛණ්ඩ අරගලය තීරණාත්මක අවස්ථාවකට ගෙන එමින් සංවිධානය කෙරෙන මෙම දෙදින විරෝධතා ව්‍යාපාරය උද්ඝෝෂණයකින් ආරම්භ විය.
“මාලඹේ සයිටම් එපා“ යන තේමාව යටතේ සංවිධානය කළ මෙම විරෝධතා උද්ඝෝෂණයේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ “අයි.ඊ.එස්.එල්. (ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය) සහ කොතලාවල ඇතුළු උපාධි කඩ එපා, පාලකයිනි මර්දනය නවතනු-මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු, අධ්‍යාපනය යනු අයිතියකි, එන්.එස්.බී.එම්. ආයතනයේ අධ්‍යාපනය විකිණීම නවතනු“ යන සටන් පාඨ යටතේ විරෝධතාවේ යෙදුණහ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර එම විරෝධතා රැලිය අමමතමින් මෙසේ කීය.
“අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. රටේ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරනවා කියලා බලයට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කරපු අධ්‍යාපනය විකිණීමේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට අරගෙන යනවා. අධිකරණ ක්‍රියාමාර්ග හරහා මාලඹේ සයිටම් ආයතනය නීතිගත ආයතනයක් කරන්න ආණ්ඩුව පෙනී සිටිනවා. මාලඹේ සයිටම් ආයතනය අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම අපිට තියෙන ප‍්‍රශ්නයයි. සයිටම් ආයතනය අධ්‍යාපනය විකිණීම නවතන තුරු අපි ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට අඛණ්ඩව සටන් කරනවා.“
සවස 04 ට සිවිල් සංවිධාන, වෘත්තීය සමිති වල සහභාගිත්වයෙන් ඒකාබද්ධ රැළියක්ද පැවැත්විනි. අනතුරුව විරෝධාකල්ප ගී ප්‍රසංගයක් සමගින් අද රාත්‍රිය පහන් වන තුරු සිසුන් කොළඹ කඳවුරු බැඳ සිටිනු ඇති බවට අන්තර්විශ්වවිදයාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු ‘ලංකාවීව්ස්“ වෙත පැවසීය. හෙට උදැසන නැවතත් උද්ඝෝෂණයකින් පණගැන්වෙන මෙම දෙදින විරෝධතාවය පස්වරුවේ අවසන් කිරීමට නියමිත වේ.
වෛද්‍ය උපාධි අලෙවිකරන මාලඹේ SAITM අහෝසි කරන ලෙස බලකරමින් අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් කිරීමට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව දහස් ගණනක් විශ්වවිද්‍යාල සිසුන් මෙම විරෝධතාවයට එක්ව සිටිති.