සාම්පූර් ගල් අඟුරු බලාගාරය අහෝසියි

sampur

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රෙද්ශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදි නොකරණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් ඊයේ (13) අධිකරණය වෙත දැනුම් දී තිබේ. අමාත්‍යංශය විසින් මේ බව අධිකරණය වෙත දන්වා ඇත්තේ සීමාසහිත පරිසර පදනම හෙවත් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (13) දින සලකා බැලූ අවස්ථාවේදීය.

නිසි පාරිසරික ඇගයීමකින් තොරව සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදි කිරීම නීතියට පටහැනි බවත්, මූලික අයිතිවාසිකම් මෙමඟින් උල්ලංඝණය වන බවත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්දුය විසින් මෙම මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කෙරිනි.

අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විසින් අධිකරණය වෙත දන්වා ඇත්තේ සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදි නොකරන බවයි. අදාල දැනුම්දීම හේතුවෙන් මෙම පෙත්සම් විභාගය අවසන් කරන බව මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දෙන ලදී.