එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද කිසිදු වෙනසක් නොකොට මේ වන විට පවතින 15% ප්‍රතිශතයේම පවත්වා ගැනීමට අදාල වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (13) දා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මෙසේ කැබිනට් අනුමැතිය හිමි වූ පනත් කෙටුම්පත මගින් මෙතෙක් රුපියල් මිලියන 12ක වාර්ෂික පිරිවැටුපක් හිමි තොග සහ සිල්ලර වෙළඳ ආයතන සඳහා යෝජනා වූ වැට් බද්ද අය කිරීමේ සීමාව රුපියල් මිලියන 50ක වාර්ෂික පිරිවැටුම දක්වා වැඩි කර ඇත.
ඒ අතරම රෝහල් ගාස්තු, වෛද්‍ය ගාස්තු, පරීක්ෂණ ගාස්තු හා ඖෂධ ගාස්තු වැනි සෞඛ්‍ය සේවාවන් සදහා යෝජනා වී මීට පෙර අය කෙරුණු වැට් බද්ද ද මෙම පනත් කෙටුම්පත මගින් අහෝසි කර ඇත. කෙසේ වෙතත් මීට පෙර පැවැති 11% ප්‍රතිශතය වෙනුවට මින් ඉදිරියට 15%ක ප්‍රතිශතයෙන් යුතුව වැට් බද්ද අය කිරීම මෙමගින් සිදු වනු ඇත.
මෙම පනත මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය බල රහිත කෙරිණි. මෙයට හේතුව වී ඇත්තේ ඒ අවස්තාවේදී අදාල නියෝගයන්ට අනුව කටයුතු කර නොමැති වීම නිසා වන අතර, එම වරද නිවැරදි කරමින් මේ අවස්ථාවේදී මූලිකවම කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගනිමින් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසයි.