වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, මැයි මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් සමඟින් සැකකරු ඊයේ (23) අධිකරණයට ඉදිරිපත් කරණ ලද අතර මෙම සැකකරු තාජුඩීන්ගේ මරණයට අදාල සිද්ධිය වූ 2012 මැයි මස 12 වැනි දින රාත්‍රී 12.45 සිට පැය 3ක පමණ කාලයක් සැකකාර අනුර සේනානායක සිවිල් ඇඳුමින් සැරසී මෝටර් රථයක සිට මෙම සිද්ධිය පිලිබද පරීක්ෂන සිදුවන ආකාරය නිරීක්ෂණය කර ඇති බව අපරාධ පරික්ෂෙණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් අධිකරණයට වාර්තා කරන ලදී.
එසේම 2012 මැයි මස 17 වැනිදා අලුයම පොලිස් මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති සරච්චන්ද්‍රට සැකකරු විසින් නියෝග කර තිබුණේ මෙම සිදුවීම රිය අනතුරක් ලෙසට සටහන් යොදන ලෙසයි. සාමාන්‍යයෙන් අපරාධයක් වී දින 10ක් තුළ දී අපරාධ වාර්තාවක් (FCR) පවත්වාගෙන යා යුතු වුවත් එවැනි ගොනුවක් පවත්වාගෙන ගොස් නැති බවත් දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ද රිය අනතුරක් ලෙස විමර්ශනය කිරීමට උපදෙස් දී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
එපමණක් නොව, මහත් සැකයට හේතුවූ මෙම මරණ සිද්ධියට අදාළව වෛද්‍ය වාර්තා රස පරීක්ෂක වාර්තා ලැබීමට ප්‍රථම ගොනුව පවා වසා දැමීමට සැකකරු උපදෙස් ලබා දී ඇත. වැඩිදුරටත් අධිකරණයට කරුනු දැක්වූ පොලිස් අධිකාරි ශානි අබේසේකර දන්වා සිටියේ 2012 මැයි මස 12 දින කිරුළපන පොලිස් වසමේ තිබී තාජුඩීන්ගේ මුදල් පසුම්බිය සොයා ගැනීම පිළිබඳව ද කිසිදු විමර්ශනයක් පවත්වා නැති බවයි. අනතුර සිදු වූ ස්ථානයේසිට 3km දුරින් තිබී මෙම පසුම්බිය හමු වී ඇතත් ඒ පිළිබඳව සොයා නොබැලීම බරපතළ ලෙස සැකයක් මතු වන කාරණාවක් බවද ඔහු පැවසීය.
පරික්ෂන අවසන් කරන්නට පෙරාතුව 2012 මැයි මස 18 වන දින මියගිය රගර් ක%ීඩකයාගේ පියා පොලිසිය වෙත කැඳවා මෙය රිය අනතුරක් බවත් තමන් ඒ ගැන කනගාටුවන බවත් පැවසීම මෙම ඝාතනයට මොහු සම්බන්ධව සිටි බවට බරපතළ සැකයක් මතු වන බවට පොලිස් අධිකාරීවරයා පැවසීය. මෙම සැකකරු සාක්කිකරුවන් වෙත බලපෑම් කර ඇති බවට දැනටමත් කරුණු අනාවරණය වන බැවින් මහජන කැළඹීමක් සිදු විය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ශානි අබේසේකර අධිකරණයෙන් ඉල්ලා සිටියේය..
සැකකරු වෙනුවෙන් කරුනු දැක් වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙහිදී පැවසූවේ අවස්ථා දෙකකදී රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දුන් තමා අද දින කැඳවීම මඟින් අත්අඩංගුවට ගන්නා බව දැන සිටි බවය. නීතියට ගරු කරන අයෙක් ලෙස ඊට මුහුණදුන් බවත් බලය නැති තමා දැන් අවලංගු කාසියක් බවට පත්වෙලා ඇති බව පැවසූ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. කරුනු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් සැකකරුගේ නිදහස අහිමි කිරීමට නොව ඔහුගේ ජීවිතයට ඇති තර්ජනය වැළැක්වීම පාදක කරගනිමින් සැකකරු බන්ධනාගාර ගත කරන බව දන්වමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් 26 වන දිනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.