හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකයා වත්කම් සගවයි!

frad allegations on mahinda guards

යුද හමුදාවේ ‍මේජර්වරයකු මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානි ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි  එකදිගට වසර 5 ක් පුරා වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි කර නැත.

අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම හමුවේ අද (18) ඊට අදාල නඩු 5ක් ගොනු කිරීමත් සමග මේ බව හෙළි විය. මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ සම්බන්ධයෙන් එල්ල කෙරුනු චෝදනා පුළුල් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය පසුගිය පෙබරවාරි 10 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබිණි.

හිටපු ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරීන් වන මේජර් නෙවිල් වන්නිආරච්චි, බ්‍රිගේඩියර් දමිත ගෝමින් රණසිංහ, කපිතාන් තිස්ස විමලසේන යන අය මෙසේ අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බව අනාවරණය වී ඇති හෙයින් එලෙස උපයාගත් මුදල් තැන්පත් කර ඇති බවට සැක කරන එම පුද්ගලයන්ගේ බැංකු හා මූල්‍ය ආයතනවල ගිණුම් පරීක්ෂා කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුනේ පසුගිය පෙබරවාරි මසදීය. එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම පුද්ගලයන් නමින් තිබෙන බැංකු 32ක හා මූල්‍ය ආයතන 47ක ගිණුම් පරීක්ෂා කිරීමට පොලිසියට අවසර ලබා දුන්නේය. මේ සිද්ධියට අදාළ පැමිණිල්ල දූෂණ මර්දන කමිටු කාර්යාලය විසින් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව පොලිස්පතිවරයා අදාළ පැමිණිල්ල විමර්ශනය සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමු කර තිබිණි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වශයෙන් ක්‍රියා කළ මේජර් නෙවිල් වන්නිආරච්චි, රජයේ ඉඩම් හා නිවාස විශාල ප්‍රමාණයක් ඔහුගේ නමට ලියාගෙන ඇති බවත් ටිපර් රථ විශාල ප්‍රමාණයක් ඔහු විසින් මඟ නැඟුම ව්‍යාපෘතියට යොදවා ඇති බවත් ඊට අමතරව බස් රථ, ඉඩම්, ඉන්ධන පිරවුම්හල් ආදී වත්කම් අයථා ලෙස උපයාගෙන ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. ඊට අමතරව ඔහුට බැංකු ගිණුම් විශාල ප්‍රමාණයක් තිබෙන බවත්, එවැනි වත්කම් හා දේපළ උපයා ගැනීමට, ඔහු කරන රැකියාව අනුව හැකියාව නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විශේෂ විමර්ශනයක් පවත්වන බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට වාර්තා කර තිබිනි. එසේම නෙවිල් වන්නිආරච්චි නමින් යතුරුපැදියක්, ට්‍රැක්ටර් ටේලර් 02ක්, ට්‍රැක්ටර් රථ 5ක්, ලොරි 2ක්, බස් රථ 7ක් ලියාපදිංචි කර තිබී ඇති අතර ඒවා පසුව විකුණා දමා ඇති බව අනාවරණය වී ඇතැයිද පොලිසිය දන්වා සිටියේය.

මේ පිළිබද නඩු කටයුතු ඉදිරියට ගෙනයාම සලකා බැලීමට සැප්තැම්බර්  28 වැනි දා චූදිතයාට අධිකරණයේ පෙනී සිටින ලෙස  මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

Leave a Reply