தமிழ்
English
Contact
Monday 6th May 2019    
‘දේශපාලන සිරකරුවන්‘ නැති රටේ ‘අතුරුදන්වූවන්‘ හොයන්නෙ කොහොමද?- පෙ.ස.ප. ප්‍රශ්න කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘දේශපාලන සිරකරුවන්‘ නැති රටේ ‘අතුරුදන්වූවන්‘ හොයන්නෙ කොහොමද?- පෙ.ස.ප. ප්‍රශ්න කරයි



අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පිහිටුවන්නට යෝජිත කාර්යාලය පිළිබඳ පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අදහස ඉදිරිපත් කිරිම සඳහා මාධ්‍ය හමුවක් පසුගිය17 වැනිදා සවස රාජගිරිය එම්.ඞී.ඞී.ආර්. ශාලාවේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් සේනාධීර ගුණතිලක සහ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහභාගි විය.

මෙහිදී සේනාධීර ගුණතිලක දැක්වූ අදහස්.
“අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මේ වන විට මතුවෙමින් තියෙන්නේ ප‍්‍රශ්නයට පිටින් යන සංවාදයක්. අපි හිතනව ඇත්තටම අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සාකච්ඡුාවක් මේ රටේ මහජනතාව අතර මතු විය යුතුයි කියලා. දැන් පෙනෙන්න තියෙන්නේ ඒක මඟ හරිමින් යන තත්ත්වයක්. විවිධ තාක්ෂණික ගැටළු, ජාතිවාදය, බල දේශපාලන වුවමනා තමයි මේ අතර දිගහැරෙන්නේ. සම්පූූර්ණ පරස්පර කතා මතුවෙනවා. මෙම පනත සම්මත කරගන්න යන ආණ්ඩුවම එක එක තැන්වල කතා වෙනවා මේ පනත හරහා කිසිදෙයක් වෙන්නේ නෑ කියලා. කෙනෙක් චෝදනා කරනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට රණවිරුවන් මෙයින් චෝදනාවට ලක්වෙනවා කියලා. තව කෙනෙක් කියනවා නෑ මේකෙන් වෙන්නේ ආරක්ෂක අංශ නිදොස් වෙන එක කියලා. මේ විධිය පරස්පර කතා තමයි කියවෙන්නේ.
මේ ප‍්‍රශ්නයට එනකොට අපට අහන්න තියෙන්නේ කව්ද අතුරුදන් වුනේ. මොකටද අතුරුදන් වුනේ. මේ එක්ක හැත්තෑව දශකයේ සිට මේ රටේ දේශපාලනය ගලා ගිය ආකාරය කතා කරන් නැතිව බෑ. උතුරෙද දකුණෙද මේ කොහේ වුනත් ඒ මත තබා මේ ප‍්‍රශ්නය අප සකච්ඡුා කළ යුතුයි. ඒ නිසා මේ ගැන වගවිභාගයක් කරන එක අත්‍යවශ්‍යයි.
අසූ ගණන් වල දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණට මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වුණා. මේවා ගැන කතා කරපු නීතීඥයෝත් මරලා දැම්මා. හොඳම උදාහරණය විජේදාස ලියනාරච්චි, කාන්චන අබේපාල ඔවුන්ට මොකද වුනේ.
අපේ පක්ෂය ගොඩනගන වෙලාවේ 2011 දි ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයා, කුගන් මුරුගානන්දන් සහෝදරයා පැහැරගන්නවා. මේ වෙනකොට ඒ ප‍්‍රශ්න මගහරිමින් යනවා. ලලිත් කියන්නේ මේ යුද්ධයෙන් පස්සේ මේ අතුරුදන්වුවන් පිළිබඳ ප‍්‍රශ්නෙට ඍජුව මුහුණ දුන් කෙනෙක්. ඔහු අතුරුදන් වූවන් හොයාගෙන ගියා. පැමිණිලි කළා. දෙමාපියන් සහෝදරියන් එක්ක ඔවුන්ව කොළඹ එක්කගෙන ඇවිත් පැමිණිලි කළා. අන්තිමට මොකද වුනේ ඔහුත් අතුරුදන්වුණා.
ඔවුන් අතුරුදන් වුනේ පීඩාවට එරෙහිව ඔවුන් කළ අරගලය. අසුගනන්වල ගත්තොත් ත‍්‍රිමා විතාරණ වගේ අය ගත්තොත් ඔවුන් කතා කළේ අධ්‍යාපනය විකුණන්න එපා කියලා. ඔහු විකල්ප වාමාංශික දේශපාලන අදහසක් දැරුවා. උතුරෙත් මේ අපේක්ෂාවන් මේ විධියටම තිබුණා. තමන්ගේ නිදහස පිළිබඳ, තමන්ගේ භාෂාව පිළිබඳ, තමනගේ රැුකියාව සම්බන්දව, සම අයිතිය සම්බන්ද අරගලයක් තිබුණා. කෙනෙකුට ඔවුන් ත‍්‍රස්තවාදීන් කියලා. නමුත් ඔවුන් කතා කළ දේශපාලනයක් තියෙනවා.
දැන් තියෙන ප‍්‍රශ්නේ තමයි මේ කියන නීති ආවරණය ඇතුලේ කවදාවත් මේ දේශපාලන ප‍්‍රශ්නය කතා වෙන්නේ නෑ. මේ කතා කරන්නේ නැතිව මොණවා කළත් වැඩක් නෑ. මොකද නැවත නැවතත් මේක මතුවෙනවා. ඊට රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් පිළිතුරු දෙනවා. ඕකයි මෙතන වෙන්නේ. ඒ නිසා ඒ ගැනයි කතා කළ යුතු. ඇයි ඔවුන් අතුරුදන්වුනේ කියන ප‍්‍රශ්නය වැදගත් වෙන්නේ ඒකයි.
මේ හැම එකක් පිටිපස්සේ ම තියෙන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදය. මිලිටරි බලය. පහුගිය කාලේ සුදුවෑන් සංස්කෘතිය ඔඩුදුවන්නේ මේ කතාව නිසා.
අඩුම තරමේ මේ අතුරුදන් වීම් ගැන කම්පනයක් ගොඩනගන්න ඕන එහෙම වුනොත් විතරයි මේ පනත් වලින් එහා ගිය දේශපාලන සංස්කෘතියක් අපට ගොඩනගන්න පුළුවන් වෙන්නේ.“
……………………………………………………………………….
චමීර කොස්වත්ත දැක්වූ අදහස්.
“අතුරුදන් වූවන් පිළිබඳ යුක්තිය සාධාරණය ඉටු කිරීමට මේ පවතින මෛත‍්‍රීපාල – රනිල් ආණ්ඩුවට අභිලාෂයක් තිබේද? අපි ඉතා වගකීම් සහගතව කියනවා එසේ කිසිදු සාධාරණ අභිලාෂයක් නෑ. අපි එහෙම කියන්නේ මේ ආණ්ඩුව තමයි ලංකාවේ මේ වෙනකොටත් වසර ගණනක් රඳවාගෙන සිටින, නීතියෙන් පිළිසරණක් නැති දේශපාලන සිරකරුවන් පිළිබඳ සාහසික ප‍්‍රකාශයක් කළේ. අගමැතිවරයයි ජනාධිපතිවරයයි දෙන්නෙම කිව්වා ලංකාවේ දේශපාලන සිරකරුවෝ නෑ කියලා. ඒ අය තමයි මේ දැන් අතුරුදන්වූවන් පිළිබඳ හොයන්න කාර්යාල ඉදිරකරන්න යන්නේ.
අතුරුදන් වූවන් විතරක් නෙවෙයි තිස් අවුරුදු යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව මොණවද කරලා තියෙන්නේ. ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීලා තියෙනවාද? හමුදාව බැරක්ක වලට සීමා කරලා තියෙනවාද? හමුදාව අත්පත්කරගත් ඉඩම් බාර දීලා තියෙනවාද? නෑ.
මේ කිසි දෙයක් නොකරන තත්වයක් තුළ ඉතා පැහැදිළිව කියන්න පුළුවන් මේ වැඬේ කරන්නේ සද්භාවයෙන් නෙවයි. මොකද මේ වැඬේම රාජපක්ෂ ආණ්ඩුවත් කළා. දැන් මේකේ විමර්ෂන අවසානයේ මොණවද කරනවා කියනනේ. ජීවතුන් අතර ඉන්නවනම්, නැත්නම් ණය සහන දෙනවා. කිසියම් අධිකරණ ක‍්‍රියාමාර්ගයකදී ඔවුන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනවා. මොකක් මේ කියන්නේ මේකේ සීමාව තියෙන්නේ තොරතුරු ඒකරාශීකිරීමක් පමණයි කරන්නේ. නැවතත් කොළ පුරවලා. ජාත්‍යන්තරය සමග තියෙන වෙතත් ගනුදෙනු වල උවමණාවන් ඉටු කරන එකයි මේ කරන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය දෙමල ජනතාවගේ අභිලාෂයන් කොල්ල කනවා. ජවිපේ අසූ අට අසූ නවය යොදා ගනිමින් මේ ආණ්ඩුව කරන බොරුවට රුකුල් දෙනවා.
සේනාධීර සහෝදරයා කිව්වා වගේ මේව වෙන්නේ රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ නම් මේවා සොයන්නෙ රාජ්‍ය යාන්ත‍්‍රණයට එපිටින් ගිය ක‍්‍රියාවළියක් අවශ්‍යයි කියන එකේ විවාදයක් නෑ. හැබැයි දැන් මේවා ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද? රාජපක්ෂ ජනාධිපතිවරයාත් ජිනීවා කොමිසමට මේ විධිය පොරොන්දු දුන්නා. මේ අයත් කරන්නේ ඒකමයි. ඒ නිසා පැහැදිළිව මෙතන ඇත්ත මැදිහත්වීමක් නෑ.
ඒ වගේම රාජපක්ෂ ප‍්‍රමුඛ කල්ලිය මේ වෙන කොට ජාතිවාදය වපුරමින් යනවා. මේ කිසිම දෙයක් වෙන්නේ නැති ක‍්‍රියාවලියක් මත පදනම් වෙලයි මේ ජාතිවාදය වපුරන්නේ. මේ ඒකාබද්ධ විපක්ෂේ විරුද්ධ වෙන්නේ මේවාට විරුද්ධයි. වරාය නගර හදනකොට මේ අය විරුද්ධ නෑ. අධ්‍යපානය විකුණනකොට විරුද්ධ වෙන්නේ නෑ. බොරුවක් මේ කරන්නේ. මේ අතර මහපොළොවේ ජනයා පීඩාවට පත්වෙමින් ඉන්නවා. ජාතිවදය විරුද්ධ වෙන එකත් පැෂන් එකක් කරගෙන ටී එන් ඒ වගේ පක්ෂ ආණ්ඩුවේ තියාගෙන මේ කරන්නේ සංදර්ශනයක්. අවසානයේ වෙන්නේ මෙවැනි තත්වයන් නිර්මාණය නොවීමට එරෙහිව ජනතා වුවමණාවන් යටපත් වීම පමණයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විධියට අපි නියෝජනය කරන්නේ යුක්තිය සාධාරණත්වය දිනා ගැනීම සඳහා වූ අරගලයයි.“