යුද්ධයේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවූ බව පිළිගත යුතුයි – සම අයිතිය ව්‍යාපාරය

2016.07.10 mer press

පසුගිය දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වී දිවයිනට පැමිණි විදේශ අමාත්‍ය මංගල සමරවීර කළ ප‍්‍රකාශය පිළිබඳ මේ වන විට පක්ෂ විපක්ෂ සාකච්ඡාවක් නිර්මාණය වී ඇති අතර ඒ පිළිබඳ සම අයිතිය ව්‍යාපාරයේ අදහස ඉදිරිපත් කිරීම සඳහාත් ඒ පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග පැහැදිළි කිරීම සඳහා අද 10 දින සම අයිතිය ව්‍යාපාරය විසින් අද දින බොරැල්ල රාජගිරියේ එම්.ඩී.ඩී.ආර්. ශාලාවේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

මෙම මාධ්‍ය හමුව සඳහා සම අයිතිය ව්‍යාපාරය වෙනුවෙන් එහි කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ සහ එහි විධායක කමිටු සමාජිකයන් වන ජූඞ් සිල්වා පුල්ලේ සහ ධර්මලිංගම් කිරුබාහරන් සම්බන්ධ විය.

මෙහිදී අදහස් දැක්වූ රවීන්ද්‍ර මුදලිගේ මෙසේද පැවසීය.

“විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගියදා මානව හිමිකම් පිළිබඳ එක්සත් අජතින්ගේ සැසිවාරයට සම්බන්ධ වී ලංකාවට පැමිණ ප‍්‍රකාශයක් කළා සත්‍ය සෙවීම පිළිබඳ කොමිසමක් පත් කළ යුතුයි කියා. යුද්ධයේදී සිදුවූ අපරාධ පිළිබඳ සෙවීමට පත් කරන එවැනි කොමිසමකදී ජාත්‍යන්තර විනිසුරුවන් යොදා ගැනීම පිළිබඳ විවාදයක් මතු වෙලා තියෙනවා කියා ඔහු කීවා. 

ඔහුගේ ප‍්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා කිව්වා එවැනි විදේශ විනිසුරුවන් යොදා ගැනීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු ඉඩක් නෑ. ඒක කරන්නෙත් නෑ කියලා.අපි හිතන්නේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරන්නේ සුළං හමන දිශාව බලල යි.

ඒ එක්කම ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාත් එවැනි පරීක්ෂණයකට විරෝධය පළ කරමින් මත පළ කළා. මෙතනදී අන්ත දෙකකින් මේ පරීක්ෂණ පිළිබඳ අදහස් මතු වෙලා තියෙනවා. මංගල සමරවීර කිව්වේ මෙතනදී ඔහු ඉන්නේ දෙගිඩියාවක කියලා.

මෙතනදී ඔහු ඉන්න සංකීර්ණකම තේරුම් ගන්න පුළුවන්. ජනාධිපතිවරයාට සුලං හමන දිශාව බලලා ප‍්‍රකාශ කරන්න පුළුවන් වුණාට මෙතැන තිබෙන සංකීර්ණකම තේරුම් ගන්න පුළුවන් මංගල සමරවීර ඇමතිවරයා කරන ප‍්‍රකාශයෙන්.

යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු හතකට ආසන්න කාල පරිච්ෙඡ්දයක් සම්පූර්ණ වෙලා තියෙනවා. මේ කාලය තුළ විවිධාකාර පරීක්ෂණ කොමිෂන් පත් කළා. දැන් ඒවාට මොකද වුණේ. මැක්ස්වෙල් පරණගම කොමිසමෙන් කිව්වා 25,000ක් උතුරු නැගෙනහිර අතුරුදන්වීම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළා. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමෙන් කිව්වා. උතුරු නැගෙනහිර මිලිටරි පාලනයක් පවතිනවා. පැහැරගත් ඉඩම් ඒ ජනතාවට ලබා දිය යුතුයි කියලා කිව්වා.

දැන් මේ කිසිදු නිර්දේශයක් කි‍්‍රයාත්මක වෙලා තිබෙනවාද?

මේ කොමිෂන් වාර්තාවල සම්පූර්ණ දේවල වලට අප එකඟ නැති වුනත් ඒවායේ තියෙන සාධාරණ නිර්දේශ පිළිබඳවවත් මේ පීඩාවට පත් ජනතාවගේ ඡුන්ද බලයෙන් පත් වෙච්ච වත්මන් ආණ්ඩුවට හැකි වෙලා නෑ. දැන් මේ අතර තමයි තවත් කොමිසම් ගැන කතා කරන්නේ.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල තමන්ගේ දරුවන් අහිමි වුණු දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට මොකද වුණේ කියලා දැන ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා.  ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ටත් ඒ අවශ්‍යතාව තියෙනවා. අපි දන්නවා 88/89 දී දකුණේ සිවිල් යුධ තත්වය තුළ අතුරුදන් වූ දරුවන් තවමත් තමනගේ ගෙවල් වලට එයි කියලා බලා ඉන්න දෙමාපියෝ ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා උතුරෙත් තත්වය ඒකම තමයි කියලා.

ඒ නිසා මේ ප‍්‍රශ්නයේ වින්දිතයන් වූ සියලූ දෙනාට ඒ අවශ්‍යතාව කියනවා. අපි ඉතා පැහැදිළිව කියනවා. මේ කාල පරිච්ඡේදයේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙලා තියෙනවා. ඒ පිළිබඳ සත්‍ය දැන ගැනීමේ අවශ්‍යතාව මේ සමාජයටත් තියෙනවා.

බොහෝ දෙනෙක් කියන්නේ දැන් සිදු වූ දේ ඉවරයි ඉස්සරහට යමු කියලා. කතාවක් තියෙනවා, ‘මියගියවුන්ට සමාදානයේ සැතපෙන්න දීලා ජීවත්වන්නවුන් සමග පෙරට යා යුතුයි’ කියලා දැන් ඒ න්‍යාය තමයි බොහෝ දෙනා කතා කරන්නේ. අපි විශ්වාස කරනවා එහෙම ඉස්සරහට යන්න බෑ. මේ සිදු වූ දේවල් පිළිබඳ විශ්වාසය ගොඩ නැගීම නම් ඉලක්කය. මේ සිදු වූ අපරාධ පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ යුතුයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසිවාදීන්ගෙන් සිදුවූ අපරාධ පිළිබඳ පරීක්ෂණ කළා. ඒ පිළිබඳ අධිකරණ වලට නාසි හමුදාවේ සිටි අය කැඳෙව්වා. යුදෙව්වන් කැඳෙව්වා. ඒවා කළේ ප‍්‍රසිද්ධියේ දහස් ගණන් ජනතාව සම්බන්ද වු ශාලාවල. අප‍්‍රිකාවේ වර්ණ භේදවාදී ගැටුම් වලින් පසුවත් මෙවැනිම ක‍්‍රියාවලියක් සිදුවුණා.

දෙවන ලෝක යුද්ධයේදී සුප‍්‍රසිද්ධ බූකන්වල්ඞ් වධකාගාරය කෞතුගාරයක් කරලා ඒ පිළිබඳ කම්පනයක් සමාජයට ඇති කළා. මෙහෙම තමයි ඒ ජනාතාව අතර විශ්වාසය ඇති කළේ. දැන් එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කළ සමූලඝාතන සාමාන්‍ය ජනතාව වගේම උතුරේ දමිල පක්ෂ වලට සිදු කළ දේවල් පිළිබඳවත් හෙළිදරවුවක්  ඕන.

අපි යෝජනා කරන්නේ දතට දත, ඇසට ඇස ආකාරයේ පරීක්ෂණයක් නෙවෙයි අපි ඉල්ලන්නේ. මේ අපරාධ පිළිබඳ පුළුල් අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි.

දැන් ඊලඟට බලන්න  ඕන ජාත්‍යන්තර පරීක්ෂයකින් මේ ප‍්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන්ද? පහුගිය රජය සමයේ මානව හිමිකම් සංවිධාන ආදිය මේ ප‍්‍රශ්න ගැන කතා කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කිව්වා ජාත්‍යන්තර පරීක්ෂණයක්  ඕන කියාල. ඊට පස්සේ ආණ්ඩු මාරු වුණා. ඊට පස්සේ අල් හුසේන් ලංකාවට ආවා. ඇවිත් උතුරු නැගෙනහිර සංචාරය කරලා යන ගමන් ප‍්‍රකාශයක් කරලා ගියා. එතැනදී ඔහු කිව්වා ලංකාවේ දේශපාලන සිරකරුවන් නෑ, ඉන්නේ ත‍්‍රස්තවාදී සැකකරුවෝ. ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් අනුව ගත්තත් ත‍්‍රස්තවාදීන්ට පොදු සමාවක් දෙන්න බෑ කියලා. ඒකයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කිවවේ.

මේ අය තමන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස්කම් කරගත්තට පස්සේ මේ අය දැන් කතාව වෙනස් කරලා. ඒ අය තමන්ගේ ආර්ථික දේශපාලන උවමණා සපුරාගැනීම සඳහා පළිහක් කරගන්න අයගෙනුත් මේ ප‍්‍රශ්නයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ඨවෙයි කියලා කියන්න බෑ.

ඒ නිසා අපි මුලින්ම කරන්න  ඕන. රට තුළ මේ විධිය අපරාධ වුණා කියලා පිළිගන්න එක. ඒකට මේ රටේ දේශපාලකයෝ සූදානම් නෑ.

ඒ නිසා අපි කියනවා යුධ සමයේ පැහැදිළිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙලා තියෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ අවශ්‍යයි. ප‍්‍රශ්න ඔක්කොම එතැන. අලූතින් කොමිසම් දාන්න යෝජනා කරනවා. ඒත් අවම වශයෙන් සිය ගණනක් දේශපාලන සිරකරුවන් පිළිගන්නවත් ඔවුන්ට සමාව දෙන්වත් ආණ්ඩුව සූදානම් නෑ. ඒ වගේම පැහැරගෙන තියෙන ඉඩම් දෙන්න කිසිම සූදානමක් නෑ. අතුරුදන් වූ උතුරේ දකුණේ මිනිසුන් පිළිබඳ කිසිදු සූදානමක් නෑ. එහෙම නැතිව කොමිසම් දාලා වැඩක් නෑ. ඒ නිසා සම අයිතිය ව්‍යාපාරය විධියට මේ වෙනුවෙන් ජන බලයක් ගොඩනගන්න තීරණය කළා.

ඒ වෙනුවෙන් පසුගිය 4,5 දිනවල කිලිනොච්චිය මුලතිව් වලින් අපි ආරම්භ කළා. මූලික අයිතීන් පිළිබඳ මහජන පෙත්සමක් අපි අත්සන් කරන්නවා.

  • පැහැරගත් ඉඩම් ජනතාවට ලබා දෙන්න.

  • හමුදාව බැරැක්ක වලට සීමා කරලා අතිරික්ත හමුදාව ඉවත් කරන්න.

  • අතුරුදන් වූවන් පිළබඳ තොරතුරු වහා හෙළි කරන්න.

  • දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න.

යන මූලික සටන් පාඨ ඔස්සේ මඩකලපුවේත්, ත‍්‍රීකුණාමලයේත් ඉහත පෙත්සම අත්සන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

 

Leave a Reply