වල කැතකළවුන් ‘දුටු තැන අල්ලනු’ !

2016.07.15 wala

කෞෂි (කෙශල්‍යා ප්‍රනාන්දු)ගේ ‘දුටු තැන අල්ලනු’ නාට්‍යයට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ එළිමහන් රංගභූමියේදී හූ කියා, ගල් මුල් වලින් ද ගසා එය රඟදක්වන්නට නොදී නවත්වා තිබේ.

සිවුරු ඇඳගත් එකෙකු පැමිණ ‘වල’ පෙන්වමින්, ‘මේක ශුද්ධ භූමියක්!’ යැයි තර්ජනය කර ද තිබෙයි. පේරාදෙණියේ ‘වලේ’ නාට්‍යයක් රඟ දක්වා ‘හූ’ සංග්‍රහයක් නොලැබ පැමිණීම එවක නාට්‍ය පිළිබඳ ප්‍රමිති සහතිකයක් ලෙස සැලකුණි. නාට්‍යකරුවකු ලෙස බෞතීස්ම වීමට ‘වලේ’ අභියෝගය ජයගත යුතුව තිබුණි. එහිදී හූ සංග්‍රහ ලැබූවන් අතර සයිමන් නවගත්තේගම, මනෝරත්න, ආදීහුද වෙති. ඒ හූව ආශ්වාදනීයය. සයිමන් ‘සුභ සහ යස‘ රග දක්වද්දී තරමක් ‘පදම’ වෙනස් වී දෙබස් අමතක වූ විට හූ කියමින් දෙබස් කියා ඇත්තේ නරඹන්නන් ය. මනෝ (ජයලත් මනෝරත්න) නාට්‍යක තාලයට පා තබමින් යන විට ඉදිරි පෙළක සිටි අයෙකු කකුලෙන් අල්ලා නවතා තිබේ. මේවා නාට්‍ය සමඟ ප්‍රේක්ෂකයන්ගේ ඉතා රසවත් මැදිහත් වීම් ය. වලේ නාට්‍යයක් රංග දැක්වීම අභියෝගයක් වූයේ එබැවිනි.

මගේ ‘භූමිකා’ නාට්‍ය ‘වලේ’ රංග දැක්වූණේ මා විශ්වවිද්‍යාල සිසුවකුව සිටියදීය. ප්‍රධාන භූමිකාවක් රංගන ශිල්පියාගේ නොපැමිණීම පුරවන්නට මට ද රඟපාන්නට සිදු විය. එය කොතරම් ලොමු දැහැගන්වන අත්දැකීමක් වූයේද යත් මතක් වන විට තවමත් ඇඟේ හිරිගඩු පිපෙයි. ‘හූ’ නොඅසා බේරුනේ වාසනාවකටය.

එහෙත් මෙවර සිදු වී ඇත්තේ ඉතාම අප්‍රසන්න සිදුවීමකි. පුද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පිළිබඳ කෑ මොර දෙන, ඒවා ඇතිවෙනවාට විරුද්ධව පෙළපාලි යන අයගේ ප්‍රමිතිය විදහා දැක්වීමකි. අද ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලට එන්නේ රටේ සිසු සම්පතේ ‘ක්‍රීම්’ එක යයි කීම මිත්‍යාවකි. ඔවුන් අතරින් මහන්සි වී ඉගෙන ගෙන එන අයට වඩා එන්නේ, බෝධිපූජා තබා, පිරිත් නූල් බැඳගන, සෙත් ශාන්ති මෙන්ම හදි හූනියං ද කර, හැකි නම් පගා දී ප්‍රශ්න පත්තර ද පන්නා ගෙන හැකි තාක් කට පාඩම් කර විභාගය ලියා එන අයයි. ඔවුන්ගේ කිසිදු නිර්මානාත්මක බවක් නැත. පාසල් ශිෂ්‍ය අවධියේ සිටම මාරාන්තික සටනක යෙදෙන්නේ විශ්ව විද්‍යාලයට රිංගා ගන්නටය. නාට්‍යයක්, චිත්‍රපටයක් නැරඹීම, නවකතාවක් කෙටිකතාවක් කවියක් කියවීම, සංගීතයක් රස විඳීම මේ බොහෝ දෙනෙකු විසින් නොවැදගත් සේ සලකා මග හරින දේවල් ය. ඒ වෙනුවට ෆෙන්ෂුයි පූජාවට, සාස්තර බැලීමට, ඊනියා හාමුදුරු සුපර් ස්ටාර්ස් ලා ගේ වැදි බන ඇසීමට ජාතික කොඩියේ සුළු ජාතික පටි ගැලවීමට, අනෙකාගේ සතුටට කෙලවීමට, ගෙදර එකතුවන කුණු ටික පාරේ හලා යාමට, කක්කුස්සි බිත්තිවල ලියු දේවල් මුහුණු පොතේ ලිවීමට ඕනෑ තරම් වෙලාව තිබේ.

‘වල’ ශුද්ධ භූමියක් වුයේ වන්දනා මාන කරනවුන්ට, සිප ගන්නා රංගනයක් ඉවසන්නට විනයක් ශික්ෂණයක් නැති ගෝත්‍රික ප්‍රජාවකට නොවේ. නාට්‍යකරුවන් සහ රසිකයනට ය. ඒ ශුද්ධ භූමියේ නාට්‍ය කලා මුල්පොත කියවූ අයෙකි කෞෂි ගේ අම්මා(සෝමලතා සුබසිංහ). ඒ බව ‘මේක ශුද්ධ භූමියක්’ යයි කෑ ගැසූ සිවුරු දාගත් ශුද්ධවන්තයාට කියා දෙන්නට ආචාර්ය මණ්ඩලයේ කිසිවෙකු නොසිටියේද යන්න අපට ඇති ගැටලුවයි.

මේ අද දිවි හිමියෙන් රැක ගන්නට හදන රජයේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය දැයි අසන්නට සිදු වීම භයානක සරදමකි.

අශෝක හගම – (ෆේස්බුක් සටහනක් ඇසුරෙනි)