මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීම හා සුදුසුකම් නොමැති බව තහවුරු වූ සිසුන් 9 දෙනකු බලහත්කාරයෙන් ඇතුළත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පති හා ගුරුවරු කළ පැමිණිල්ලක් මත නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු සැකකරුවන් සිව් දෙනකු අද (5) සවස අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසයි.
මේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි මව්වරු නව දෙනෙක් මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර විසින් බ්‍රහස්පතින්දා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ. පාසලට බලෙන් ඇතුළුවී යැයි කියන කාන්තාවන් 9 දෙනකු මීගහතැන්න පොලිසියෙන් අද අත්අඩංගුවට ගැනීමත් සමග නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම කොළඹ පෞද්ගලික රෝහලෙන් ටිකට් කපාගෙන එම ලේඛනයද සමග අද සවස 3.30ට පමණ මතුගම මහේස්ත්‍රාත් උසාවිය වෙත ගියේය.
සුදුසුකම් නොලැබූ දරුවන් බලයෙන් පාසලට ඇතුළු කිරීමට නියෝජ්‍ය ඇමැතිවරයා පාසැලට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට සහ විදුහල්පතිටද පහරදී සියදිවි නසාගැනීමේ රඟපෑමක යෙදුණු බව දක්වමින් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. විදුහල්පතිවරු හා ගුරුවරු මතුගම අධ්‍යාපන කාර්යාලය අසල උද්ඝෝෂණයක් කරමින් බලකර සිටියේ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මීගහතැන්න පාසලට තමාත් මවුපියනුත් බලෙන් ඇතුළු නොවූ බව කියන නියෝජ්‍ය ඇමැති තෙවරප්පෙරුම තමා පොලිසියට බාරවන බව කියා සිටියේය. එහෙත් ඒ වන විට උසාවි කටයුතු අවසන් ව තිබුනු බැවින් නීතිඥවරුන්ගේ උපදෙස් අනුව 7වැනිදා උසාවියට පැමිණීමට ඔහු සූදානම් විය.
‘අපි එහේ යද්දී පොලිසියේ ඕඅයිසී මහත්තයාත් හිටියා. බලෙන් එහි ගියේ නෑ. දරුවන් පාසලට ඇතුළු කරගත්තේ විදුහල්පතිගේ කැමැත්තෙන්. දොස්තරලා එපා කිව්වත් බලෙන් ටිකට් කපාගෙන ගිහින් අද මම පොලිසියට බාර වෙනවා.‘ යනුවෙන් ඔහු පවසා තිබිණි.