පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහා සමුළුව පෙබරවාරි 01

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහා සමුළුව ‘අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, සමාජවාදය උදෙසා, පන්තියට පක්ෂයක්!’ යන තේමාවෙන් පෙබරවාරි 01 වැනිදා උදෑසන 10.00 සිට කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට කටයුතු සූදානම් බව එම පක්ෂය නිවේදනය කරයි.

මෙවර සමුළුවේ පෙරවරු සැසිය සාමාජික සාමාජිකාවන් සඳහා වන අතර විවෘත සැසිය සවස 2.00ට ආරම්භ වේ. එහිදී වත්මන් දේශපාලන තත්වය පිළිබඳ දේශපාලන වාර්තාවක්ද, ඒ හා සම්බන්ධව දේශපාලන වැඩපිළිවෙලක් සඳහා සමුළු යෝජනා මාලාවක්ද සම්මත කර ගැනීමට නියමිතය. එමෙන්ම ඉදිරි කාලය තුළ පක්ෂයට නායකත්වය ලබා දීම සඳහා මධ්‍යම කාරක සභාවක් පත්කර  ගැනීමද සම්මේලනයේ ප්‍රධාන කාර්යයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ සිදු කෙරුණු දේශපාලන සංවාදයකින් අනතුරුව එළඹුණු ස්ථාවරයන් පිළිබඳ කෘති තුනක් එදින එලි දැක්වීමට නියමිතය. එනම්, “දර්ශනය හා දේශපාලනය – නිර්ධන පන්ති ව්‍යාපාරයේ ස්ථාවරය පිළිබඳ විමසා බැලීමක්“, “පක්ෂය හා විප්ලවීය බහුජන ව්‍යාපාරය – පදනම් මූලධර්ම පිළිබඳ විමසුමක්“ සහ “ලංකාවේ ජාතික ගැටලුව විසඳීම පිළිබඳ මාක්ස්වාදී ස්ථාවරය සඳහා ප්‍රවේශයක්“ යන කෘතින්ය.

එදින සමුළුවට ලංකාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් රාශියක් සුබ පැතුම් ඉදිරිපත් කිරීමට නියමිතය. එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, වමේ හඬ සංවිධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය, ප්‍රක්සිස්‌ සාමූහිකය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන ලංකාවේ වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් වලට ආරාධනා කර තිබෙන අතර ජර්මන් මාක්ස් ලෙනින්වාදී පක්ෂය, කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව, පස්වන ජාත්‍යන්තරයක් සඳහා වූ ජාත්‍යන්තර ලීගය,ඉන්දියානු මාක්ස් ලෙනින්වාදී පක්ෂය, ඉතාලියේ කෝබාස් පක්ෂය ඇතුළු විදෙස් පක්ෂ ගණනාවක නියෝජිතයන්ද, ලංකාවේ කියුබානු තානාපතිනියද සමුළුවට සුබ පැතුම් එක් කිරීමට නියමිතය. පස්වරුවේ සමුළුවට සමාන්තරව සංස්කෘතිකාංග ඇතුළත්වන බවද එම නිවේදනයේ සදහන්ය.

Leave a Reply