தமிழ்
English
Contact
Saturday 9th December 2017    
පතල් කම්කරුවන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරනු! – කම්කරු අරගල මධ්‍යස්ථානය « Lanka Views | Views of the truth

පතල් කම්කරුවන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරනු! – කම්කරු අරගල මධ්‍යස්ථානය



බෝගල පතලේ කම්කරුවකු අනතුරකින් මරණයට පත්වීම සම්බන්ධව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ දැක්වේ.

බෝගල පතල තුළ සිදු වූ අනතුරකින් ජී.ඒ. ප‍්‍රදීප් කුමාර නමැති සේවකයා පසුගිය 28 වැනිදා මරණයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව තිබෙන්නේ බෝගල පතලේ බඹ 275කට වඩා පොළොව අභ්‍යන්තරයේය. මෙම මරණයේ වගකීම බෝගල ග‍්‍රැෆයිට් ලංකා ලිමිටඞ් සමාගමත් ලංකාවේ කම්කරු බලධාරීනුත් සහ ආණ්ඩුවත් බාර ගත යුතුය.

තම සමාගම යටතේ ඉතා අනාරක්ෂිත වැඩ කොන්දේසි යටතේ සේවය කරන සේවකයන්ගේ සුරක්ෂිතතාව තවදුරටත් අවදානමට හෙළමින් ලාභ කොල්ලයක නිරත වන බෝගල ග‍්‍රැෆයිට් සමාගමට මෙන්ම ඔවුන්ගේ අත්තනෝමතික ක‍්‍රියාකාරීත්වය හමුවේ මුණිත රකින කම්කරු බලධාරීන්ටද පාලකයන්ටද අපගේ විරෝධය පළ කරමු.

1991 වසරේදී බෝගල පතල ජර්මානු පෞද්ගලික සමාගමකට විකුණා දැමීමට පෙර පතල තුළ එක් වැඩපොළක සේවකයන් 5ක් හෝ 6ක් සේවයට යොදවා තිබිණි. ඒ යම් අනතුරක් සිදු වුවහොත් අනතුරට මුහුණ දුන් සේවකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ප‍්‍රමාණවත් පිරිසක් එක් ස්ථානයක සිටය යුතු නිසාය. එහෙත් පතල පෞද්ගලිකකරණ්‍ය කිරීමෙන් පසුව එක් වැඩපොළක සේවය කරන සේවකයන් ගණන තිදෙනකු දක්වා අඩු කරන ලදී.

මීට මාස කිහිපයකට පෙර සමාගම විසින් සේවක සුරක්ෂිතතාව තවදුරටත් අවදානමට හෙළන තීරණයක් ගනු ලැබීය. එනම්, ‘සුපර් ටීම්’ නමින් හඳුන්වමින් පස් දෙනකු හෝ ඊට වැඩි පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් කළ යුතු වැඩ කොටස ආවරණය කිරීම සඳහා කම්කරුවන් දෙදෙනකු යෙදවීමයි. අඩි දහස් ගණනක් පොළොව අභ්‍යන්තරයේ මෙම මෙම කම්කරුවන් මිනිරන් කණිමින් වැඩ කළ යුතුය.

මෙම තීරණයට එරෙහි වෙමින් ප‍්‍රමාණවත් කම්කරුවන් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එක් වැඩපොළකට නොයොදවන්නේ නම් සේවය කළ නොහැකි බව කියමින් තම ජීවිතාරක්ෂාව වෙනුවෙන් හඬ නැඟූ සේවකයන් හත් දෙනකු මේ වන විටත් සේවයෙන් ඉවත් කර තිබේ. ‘පතල් කම්කරු අරගල සමිතිය – බෝගල’ නමැති වෘත්තීය සමිතිය මෙම සේවකයන් වෙනුවෙන් කම්කරු කොමසාරිස්වරයා සමගත් සමාගම සමගත් සාකච්ඡා කරන ලද නමුත් අනාරක්ෂිත පොළොව අභ්‍යන්තරයේ කම්කරුවන් දෙදෙනකු හුදකලා කොට වැඩ ගැනීම සඳහා ගත් තීරණය වෙනස් කිරීමට සමාගම එකඟ නොවීය. ඒ නිසා මෙම ප‍්‍රශ්නය දැන් කම්කරු උසාවිය දක්වා ගෙන යාමට සිදුව තිබේ.

එපමණක් නොව, පොළොව අභ්‍යන්තරයේ කැණීම් කරන විට අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර අනුගමනය කර නැත. මෙම කම්කරුවාගේ මරණයට හේතුවද එලෙස ආරක්ෂිත ක‍්‍රම අනුගමනය නොකිරීමයි.

සන්නිවේදන පහසුකම් සලසා තිබෙන්නේ ප‍්‍රධාන පතලේ පමණි. ප‍්‍රධාන පතලෙන් ඈත දෝනාවල අනතුරක් සිදු වූ විට ඒ බව ඉක්මණින් දැනුම්දීමට මේ නිසා ක‍්‍රමවේදයක් සලසා නැත.

පතල් කම්කරුවන්ගේ ජීවිත අනාරක්ෂිත කිරීම සම්බන්ධයෙන් කම්කරු ඇමැතිවරයා,  කම්කරු කොමසාරිස්වරයා, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, රත්නපුර කම්කරු කාර්යාලයේ සේවක සුරක්ෂිතතා අංශය ඇතුළු සියලුම අංශ සහ බලධාරීන් සමග සාකච්ඡා කරන ලද නමුත් මේ දක්වා විසඳුමක් නැත. එපමණක් නොව ඔවුන් පවසන ආකාරයට පොළොව මතුපිට කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මිස පොළොව අභ්‍යන්තරයේ වැඩකරන කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව ලංකාවේ නීතියක් පවා සැකසී නැත. මෙය ඉතා බරපතළ තත්වයකි.

විශේෂයෙන්ම බෝගල පතල ඇතුළු පතල් කම්කරුවන්ගේ ආරක්ෂාවට ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාවට ගත යුතු ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් කම්කරු අරගල මධ්‍යස්ථානය ලෙස අපි බල කොට කියා සිටිමු.




Related News