ප්‍රංශ කම්කරුවන් වෘත්තිය අරගලයක නිරත වීම නිසා ප්‍රංශයේ මෙන්ම බටහිර යුරෝපා කලාපයේ ප්‍රවාහන සේවා අඩාල වන තත්වයක් මතුව තිබේ. ‘එල් කොම්රි“ කම්කරු නීතියට විරෝධය පළකරමින් මාර්තු මාසයේ ඇරඹි විරෝධතා පිළිබද පාලක හොලන්ඩේ ආණ්ඩුවෙන් අවධානය යොමු නොකිරීම නිසා එරට වෘත්තිය සමිති සටනට බැස්සේ පසුගිය මැයි මාසයේදීය.
ප්‍රංශයේ ශ්‍රම වෙළෙදපොළ නම්‍යශීලී කිරීමෙන් හාම්පුතුන්ට සේවකයන් බදවාගැනීමේ හා නෙරපාහැරීමේ කොන්දේසි ලිහිල්කිරීම නව නීතිය යටතේ සිදු කරන්නට නියමිතය. දුම්රිය කම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙම වෘත්තිය සටන්වලට එක්වීම නිසා එරට හා කලාපීය දුම්රිය ප්‍රවාහනය දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත. මිලියන 8.2ක් පමණ දෛනිකව ගමන් ගන්නා බස් හා දුම්රිය සේවා මෙමගින් අඩාලවී ඇත. පසුගිය දිනවල මෙම වෘත්තිය අරගලයට එරට ඉන්ධන පිරිපහදු කම්කරුවන් එක්වීමෙන් ඉන්ධන පිරිපහදු 6ක් අක්‍රිය වී හෝ නිෂ්පාදනය අවම වී ඇත. අද දින වරාය කම්කරුවෝ පැය 24 වැඩ නැවැත්වීමකින් අරගලයට එක්වීමට නියමිතය.
මාර්තු මස ‘නොනිදන රාත්‍රිය‘ විරෝධතා ව්‍යාපාරයට වෘත්තිය සමිති සහාය නොදීම පිලිබද කම්කරුවන් අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබිනි. අප්‍රේල් මසදී වාර්ෂික සමුලුව පැවැත්වූ CGT ප්‍රංශ වෘත්තිය සමිති සම්මේලනය තුල මෙම ප්‍රශ්න කිරීම් අවසානයේ කම්කරු නීති සංශෝධනයට එරෙහි ක්‍රියාකාරී විරෝදතා අරඹන්නට තීරණය කෙරිනි. මැයි 31 වැනිදා ඇරඹුණු කම්කරු අරගල රැල්ල තුළ වැඩකරන ජනයාගේ බලය ක්‍රමානුකූලව සක්‍රිය වන ලකුණු පෙනෙන්නට තිබේ.
ප්‍රංශ ගුවන් ගමන් හසුරුවන්නන්ගේ සේවක සමිති විසින් හෙට දින සිට ආරම්භ කරන්නට නියමිත වර්ජනයට 12000ක් සම්බන්ධවන්නට නියමිතය. එසේම ගුවන් නියමුවන්ගේ වැඩවර්ජනයකට කටයුකු සූදානම් වෙමින් තිබෙන බව ප්‍රංශ ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එළඹෙන 10 වැනිදා යුරෝපා පාපන්දු ශූරතා තරගාවලිය ආරම්භ වීමට නියමිත බැවින් මෙම අරගලය එරට ආණ්ඩුවට මහත් හිසරදයක් වන ලකුණු පහළ වී ඇත.
මෙම වැඩ වර්ජන ක්‍රියාදාමයන්ට ප්‍රංශ ජනතාව අතර 60%කගේ සහාය පලවන බව ජනමත සමීක්ෂන පෙන්වා දෙයි.

