ප්‍රජාතන්ත්‍රවාදයේ පොරොන්දු පසෙක දමා, ආණ්ඩුව අලුත් මර්දන නීති ගේනවා – පෙ.ස.ප.

2016.05.31 FLSP briefing

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වර්කමාන හවුල් ආණ්ඩුව නව මර්දන නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ ජනතාවත් විරුද්ධ මත දරන දේශපාලන පක්ෂ, ජනතා ව්‍යාපාර මර්දනය කිරීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. මේ බව ප්‍රකාශ වූයේ අද (31) බොරැල්ල එන්. එම්. පෙරේරා ආයතනයේදී පැවැති එම පක්ෂයේ ජනමාධ්‍ය හමුවකදීය. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මේ වන විට මතුවී තිබෙන දේශපාලන සංවාදය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා පවත්වන ලද මෙම මාධ්‍ය හමුව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ එහි මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, නව නීති ගෙන ඒම ගැන මෙසේ සිය අදහස් දැක්වීය. 

“පසුගිය කාලේ ලංකාවේ ප‍්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළදී සිදුවූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය පිළිබඳ මෙහිදී සාකච්ඡුාවක් මතුවුණා. එතනදී දැන් බලයට පත්වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුව සහ ඔවුන්ට සහය දුන්න ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය මුස්ලිම් කොන්ග‍්‍රසය ආදී පක්ෂ කිව්වේ යහපාලනය ගේනවා කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනවා කියලා. නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා කියලා.

නමුත් දැන් සිදුවෙන්නේ විවිධ බලවේග වෙත මර්දනය දියත් කිරීම හා නීතිය තමන්ට කැමති ආකාරයෙන් භාවිතා කරමින් තමන්ට දේශපාලන වශයෙන් විරුද්ධ අය මර්දනයට යොදාගැනීම. ඒකට නීතිපොත් පෙරළමින් ඉන්නවා.  පහුගියකාලේ කිව්වා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනවා කියලා. පහුගිය අපේ‍්‍රල් 18 වෙනිදා සාගල රත්නායක ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් නිකුත් කරලා කිව්වා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරලා ඒ වෙනුවට පනත් තුනක් ගේනවා කියලා. ඒ තමයි, ජාතික ආරක්ෂක පනත, සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත, අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙනයාමේ පනත. මේ පනත් තුනම කියන්නේ දැනට තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාවත් අහෝසි කරන පනත්.

අපට දැනට දැනගන්නට ලැබිලා තියෙන්නේ යෝජිත ජාතික ආරක්ෂක පනතට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තිබුණු සියලූ අංග ඇතුලත් කියලා. ඒක එහෙම නෙවෙයිනම් ආණ්ඩුව ඒ පනත් කෙටුම්පත ජනතාව ඉස්සරහට ගේන්න  ඕන. ඒ වගේම සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත කියලා ගේන්න යන පනතේ තියෙන්නේ සංවිධානාත්මක දේශපාලන ක‍්‍රියාකාරකම් වැලැක්වීමේ නීති කියලයි දැනගන්න තියෙන්නේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශ භාර ඇමතිවරයා කියලා තියෙනවා විශ්වවිද්‍යාලවල විනය පරීක්ෂණ පැවැත්වීම සඳහා රටේ සාමාන්‍ය නීතියටත් එහා යන නීති විශ්වවිද්‍යාල පාලනයට හඳුන්වාදෙනවා කියලා.

පහුගියකාලේ අපිව අත්අඩංගුවට ගත්තා පොදු දේපල වලට හානි කළා කියලා. අපි වාමාංශික දේශපාලන පක්ෂයක් විධියට පෙනී ඉන්නේ පොදු දේපල සහිත සමාජයක් වෙනුවෙන්. අපි පෙනී ඉන්නේ අනෙකුත් දේපල වලට වඩා පොදු දේපල උසස් යැයි සලකන සමාජයක් වෙනුවෙන්. ඒ නිසා අපිට පොදු දේපලත් එක්ක තරහක් නෑ. අපි පොදු දේපල ආරක්ෂා කරන්න විතරක් නෙවෙයි ඒක වර්ධනය කරන්න පෙනී ඉන්න අය. නමුත් අපිට පොදු දේපල පනත ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට තිබුණු හදිසිය ජෝන් අමරතුංග ඇමතිවරයා ගැන නෑ. සචින් වාස් ගුණවර්ධන ගැන නෑ. නීතිය ආණ්ඩුවට හිතවත් අයට එක විධියත් ආණ්ඩුවට විරුද්ධ අයට තව විධියක්.

ඝාතන පිළිබඳ පරීක්ෂණයත් මේ විධියම තමයි මේ දවස්වල වසීම් තාජුඞීන් ඝාතන ගැන පරීක්ෂණ උඩට උස්සලා තියෙනවා. උසස් පොලිස් නිලධාරීන් ප‍්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ප‍්‍රශ්නේ තියෙන්නේ ඒකෙදී හැම වෙලාවේම සීමාවක් පවත්වාගෙන යනවා. පොලිසිය අත්අඩංගුවට ගත්තට ඒ නියෝග දුන්නේ කව්ද? අඩුම තරමින් ඒ නියෝග දුන්නේ පොලිස්පතිවරයාද කියන එක ගැන හිටපු පොලිස්පතිවරයාගෙන් ප‍්‍රකාශයක්වත් අරගෙන නෑ. ඒ වගේම මේක හදිසි අනතුරතක් කියලා කියපු වෛද්‍යවරයා ගැන මොකක්ද අරගෙන තියෙන ක‍්‍රියාමාර්ගය. මේවායේ සැබෑ අරමුණ පරීක්ෂණ සිදු කිරීම නෙවෙයි. කාලයක් උස්ගෙන දිව්වා ඇවන්ගාඞ්, ඊට පස්සේ සී එස් එන් දැන් කොයිද ඒවා. 

ඝාතන ගැන පරීක්ෂණ කරනවා නම් අපි අහනවා, ශිෂ්‍යයන් දෙන්නෙක් ඝාතනය කළා ජානක හා සිසිත කියලා ඒ පරීක්ෂණ  කරන්නේ නැත්තේ ඇයි? පොලිසිය අධිකරණයට දුරකතන ඇමතුම් පිළිබඳ වැරදි දත්ත ඉදිරිපත් කිරීමයි, ඒ දත්ත මැකීමයි ගැන පරීක්ෂණ කෝ? අදාල දුරකතන සමාගම් වලට විරුද්ධව ගත්ත ක‍්‍රියාමාර්ග කෝ? ඊයේ සැමරුවා රොෂේන් චානක සහෝදරයා ඝාතනය ඒ ගැන පරීක්ෂණ කෝ? වැලිකඩ සිරකරුවන් ඝාතන ගැන පරීක්ෂණ කෝ?

අධිකරණ ස්වාධීනකමත් එහෙමමයි. පහුගිය නොවැම්බරයේ යාපනේ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළා කෙහෙළිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න කියලා ලලිත් කුගන් ඝාතනය පිළිබඳ අධිකරණයට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන්. ඒ වගේම පහුගිය සතියේ පොලිසිය අධිකරණයට ගිහින් තියෙනවා අපිව අත්අඩංගුවට ගන්න නියෝගයක් ලබා ගන්න. එතනදී අධිකරණය එහෙම නියෝගයක් ලබා දීම ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ අනුව දැන් වෙන්නේ අධිකරණයෙන් අත්අඩංගුවට ගන්න කියන අය අත්අඩංගුවට ගන්නේ නෑ. අත්අඩංගුවට ගන්න කියන එපා කියන අය අත්අඩංගුවට ගන්නවා. ඔහොමයි නීතියේ ආධිපත්‍ය පිහිටුවලා තියෙන්නේ.

කුමාර් ගුණරත්නම් සහෝදරයා පැහැරගැනීම සහ ගෝඨාභය රාජපක්ෂ මේ ගැන කළ ප‍්‍රකාශය පිළිබඳ අපි තුන් වතාවක් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කරලා තියෙදී මේ පැහැරගැනීම ගැන තවම ප‍්‍රකාශයක් සටහන් කරගෙනවත් නෑ.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුනරත්නම්ගේ පුරවැසි අයිතිය සම්බන්ධව වත්මන් ආණ්ඩුවේ පිඝිවෙත සම්බන්ධ අයුක්ති සහගත තත්වයද මෙහිදී විවේචනයට ලක් විය. එම කාරනය පිළිබද පුබුදු ජයගොඩ මෙසේ සදහන් කලේය.

“කුමාර් ගුණරත්නම් සහෝදරයාට මුලින් පුරවැසිභාවය දෙන්න කියලා අපි ඉල්ලපු වෙලාවේ කිව්වේ ඔහු සංචාරක වීසා වලින් ලංකාවට ඇවිත් දේශපාලනය කරනවා කියලා. නමුත් ඉන්දියනු පුරවැසිභාවය තියෙන වර්ධරාජා පෙරුමාල් මහතා පසුගිය අපේ‍්‍රල් 11 වෙනිදා සංචාරක වීසා වලින් ලංකාවට ඇවිත් ස්වාධීන රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට සහභාගී වෙනවා. අපි සීයට දෙසීයක් එකඟයි වර්ධරාජා පෙරුමාල්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය ගැන. නමුත් අපි අහන්නේ ඇයි මේ එකම සිදුවීමකට අදාලව ආණ්ඩුවට හිතවත් දේශපාලනයේ ඉන්න අයට එක විධියටත් ආණ්ඩුවට විරුද්ධ දේශපාලනය කරන අයට තව විධියකටත් සලකන්නේ ඇයි කියලා. මේකද හදනවා කිව්ව නීතියේ ආධිපත්‍ය.

ආණ්ඩුව අවස්ථා තුනකදී රාජිත සේනාරත්න ඇමතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, ජානාධිපතිවරයා ලංකාවේ දී මෙන්ම පිටරටදී ප‍්‍රකාශ කළා ලංකාවෙන් කුමන හෝ හේතුවක් මත විදෙස්ගත වෙලා ඉන්න අයට ලංකාවට එන්න කියලා. නමුත් කුමාර් ගුණරත්නම් සහෝදරයාට ඒ සාධාරණය ඉෂ්ඨවෙන්නේ නෑ.

සනත් බාලසූරිය කියන මාධ්‍යවේදියා කියලා තිබුණා. ඔයාලා කොච්චර කිව්වත් අපිට සැකයි ඕගොල්ලෝ එහෙම ලංකාවට එන්න අපි බයයි කියලා. මොකද ආපුවාම නීති ප‍්‍රශ්න ඇදලා ගන්නවා. නමුත් ආණ්ඩුවට හිතවත් දේශපාලනය කරන අයට ඒවා අදාල නෑ.

මේ නිසා කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසි අයිතිය දිනා ගැනීම ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ සියලූ ප‍්‍රශ්න වෙනුවෙන් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මෙම ජුනි මුල් සතිය විරෝධතා සතියක් ලෙස නම් කරලා දිවයින පුරා අත් පත‍්‍රිකා බෙදා හැරීම් බැනර් අත්සන් කිරීම් රැස්වීම් පැවැත්වීම් ආදී ක‍්‍රියාමාර්ග සංවිධානය කරලා තියෙනවා. 

මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට කැමති සියලූ දෙනා එක්ව අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ අපේ අරගලය පුලූල් කරන්න බලාපොරොත්තුවෙනවා.”

Leave a Reply