තමාට හිතවත් පුද්ගලයෙකුට කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුර ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණිය විශ්වවිද්‍යාලයේ අංශාධිපති උපාලි හෙට්ටිආරච්චි වෙත මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් විසින් යවන ලිපියක් සම්බන්ධයෙන් ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී විසින් විමසූ අවස්ථාවේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එම මාධ්‍යවේදියාට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇත.
2016.02.08 දාතමින් යුත් එම ලිපියෙන් අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ වත්තවලව්ව, දෙරණෑගම, මැදවල, හාරිස්පත්තුවේ යන ලිපිනයේ පදිංචි කේ.පී.ඩී.ඩී. අමරසිංහ යන අය තමන් හොදින් දන්නා හදුනන අයෙකු බැවින් ඔහුගේ සුදුසුකම් බලා දේශපාලන විද්‍යාව පිළිබද කථිකාචාර්ය තනතුරක් ලබා දෙන ලෙසයි. මෙහි විශේෂත්වය වන්නේ අදාල පුද්ගලයා මහනුවර හාරිස්පත්තුවේ පදිංචි අයෙකු වන අතර, අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සභාපති හා සෙංකඩගල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා වීමයි. මේ හේතුවෙන් මෙම ඉල්ලීම සෘජුවම දේශපාලන බලපෑමක් බව පැහැදිලිය.
අදාල ලිපිය සම්බන්ධයෙන් ‘අද‘ පුවත්පතේ මාධ්‍යෙව්දියා විසින් විමසනු ලබන්නේ මෙම ලිපිය සත්‍ය ලිපියක්ද යන්න පමණි. අදාල විමසීමෙන් කෝපයට පත් වන අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදියාට අසභ්‍ය වචනයෙන් බැන වදින්නේ එය තමන්ගේ ඇමති තනතුරට අයත් කරුණක් බවත්, පනත කියවා එන ලෙසත් තර්ජනය කරමිනි.
මේ තත්වය සම්බන්ධයෙන් විමසීමේදී එතරම් විමතියට ලක් නොවිය යුතු වන්නේ ගුරා හිටගෙන කරපු දේ ගෝලයා විසින් දුව දුව කරන බව පැහැදිලිව පෙනී යන බැවිනි. පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී මැරයෙකුගේ විලාසයෙන් යම් යම් මාධ්‍ය ආයතනවල හා මාධ්‍යෙව්දීන්ගේ නම් ගම් ඉදිරිපත් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක හා වත්මන් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ආයතන වෙත තර්ජනය කළේය. ඉන් පසුව ද නිදහස් දින පැවැති ප්‍රසංගයක ගීතයක් සම්බන්ධ සමාජ විරෝධතාවයට ද රනිල් වික්‍රමසිංහ පිළිතුරු දුන්නේ තර්ජනාංගුලියෙනි.
මෙම තත්වය එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව ධනපති ආණ්ඩුවලට පොදුවේ වැළදෙන රෝගයකි. තමන්ට බලය අහිමි කාලයේදී මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිඹුල් කදුළු හෙළන පාලකයෝ බලය තමන් අතට පැමිණි වහා හැසිරෙන්නේ වියරු මෘගයන් ලෙසිනි. එවිට ඔවුන්ට අතීතයේදී තමන් විසින් කළ කී දෑ අමතකය. අතීතයේ අයිතිවාසිකම් ගැන කතා කළා වූ රනිල් වික්‍රමසිංහගේ වත්මන් කල්කිරියාව මේ වන්නා සේම, අතීතයේ අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකළ මහින්ද රාජපක්ෂ ප්රමුඛ නඩයේ වත්මන් භූමිකාව වන්නේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිඹුල් කදුළු හෙළීමයි.
මේ තත්වයන් වටහා නොගෙන කටයුතු නොකරන තාක් කල් මේ තත්වයන් වෙනස් කිරීම සිහිනයක් පමණක් වනු ඇත.
– සුසී –