උමා ඔය ප්‍රශ්නය, මන්ත්‍රී චමින්ද විජේසිරි ස්වාධීන කරයි!

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පවසයි.

ඔහු ජනමාධ්‍යවේදින් අමතා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තමන් වැනි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කොන්කමින් පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරු සමගින් පමණක් කටයුතු කරමින් ජනාධිපතිවරයා මුල අමතක කරන බවයි. උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව අද (30දා) දින ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවට තමන්ට ආරාධනා කර නොමැති බවත්, බණ්ඩාරවෙල ජනතාව මුහුණපා ඇති ගැටලුව පිළිබඳ කරුණු පැහැදිලිව දන්නා තමන්ට ආරාධනා කර නොමැති සාකච්ඡාවලට නොයන බවත් මන්ත්‍රිවරයා කීය.

“උමා ඔය ව්‍යෘපෘතිය ආරම්භ කළේ පසුගිය ආණ්ඩුව. අපේ ආණ්ඩුවත් ඒ ව්‍යාපෘතිය සම්බන්ධව කල්මරමින් සිටින ප්‍රතිපත්තියක ඉන්නේ. පහුගිය බදාදා හර්තාල් කරලා උද්ඝෝෂණ කළේ ඒ නිසා තමයි. ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයෙන් ලිස්සනවා.මේ ප්‍රශ්නයට ඉතා ඉක්මනින්ම කරන්න ඕන දෙය ජල කාන්දුව නවත්වන එක. ඒකට පිළියම් නෑ. ජනතාව බයගන්වමින්, කෑගහන බොහෝදෙනා ඒකට පිළියම් ඉල්ලන්නේ නෑ. බදාදා පැවැති උද්ඝෝෂණය මෙහෙයවූ අයට පැහැදිලි දේශපාලන අරමුණක් තිබුණා.

මම ආණ්ඩුව නියෝජනය කළාට මාව ස්වාධීන කළේ ජනාධිපතිතුමාමයි. උමා ඔය ව්‍යාපෘතියේ සහන ලබාදීම සඳහා පැවැත්වෙන සාකච්ඡා ගැන සඳහන් ලිපිය එතුමා එවලා තිබුණා.

ඒගොල්ලෝ ආරම්භ කරපු ව්‍යාපෘතිය, ඒ ගොල්ලෝ ගහගත්තු කොමිස් ටික ආරක්ෂා කරගෙන ඒ ගොල්ලෝ බේරිලා ඉන්නවා. අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි කල්තැබීමේ විවාදයට මගේ මංගල කතාව විදියටත් ඉදිරිපත් කළේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධවයි. අගමැතිතුමා මේක විසඳන්න විශාල වෑයමක්, මැදිහත්වීමක් දැරුවා. නමුත් විෂය භාර ඇමතිවරයා විදියට ඉන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට තියෙන විධායක බලය අනුව ඔහු අබිබවා යැමට අගමැතිවරයාට හැකියාවක් නැති බව මට තේරුණා. එතුමා ඒක ප්‍රකාශ කළේ නෑ. අගමැතිවරයා දරන උත්සාහයේ ඵලයක් නැති බව මම අවසානයේදී තේරුම් ගත්තා. ඇමතිවරයා හැටියට රටේ ජනාධිපතිවරයා මේ පිළිබඳ උනන්දුවක් නොදක්වන බව පැහැදිලි වුණා. අද පැවැත්වෙන සාකච්ඡාවට මට ලිඛිතව එන්න කියලා නැති නිසා මම සහභාගි වෙන්නෙ නෑ.ජනාධිපතිතුමා අපිව තල්ලු කර තිබෙන්නේ ස්වාධීන වෙන විදියටයි.“

මේ අතර හරින් ප්‍රනාන්දු ඇමතිවරයා තමන්ට එම සාකච්චාවට පැමිනෙන ලෙස දුරකථනයෙන් ඉල්ලා සිටි නමුත්  දැනුම්දීමකින් තොරව එවැනි සාකච්ඡාවලට තමන් සහභාගිවෙන්නෙ නැති බව මන්ත්‍රී චමින්ද විජේසිරි කියයි .

 

Leave a Reply