අධ්‍යාපනය “අදට හරියන්න” වෙනස් කරන්න ඇමැති අනු කමිටුවක් 

education

ලංකාවේ පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

එම අනුකමිටුවේ ප්‍රධානියා  වන්නේ 1980 දශකයේදී අධ්‍යාපන ධවල පත්‍රිකාව හඳුන්වා දීම නිසා අපකීර්තියට සහ ජනතා විරෝධයට ලක්වූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

මීට අමතරව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල, සුසිල් ප්‍රේම ජයන්ත, මහින්ද සමරසිංහ හා හරීන් ප්‍රනාන්දු යන කැබිනට් ඇමතිවරු මෙම අනුකමිටුවට ඇතුලත් බව කැබිනට් ආරංචි මාර්ග කියයි.

මෙම කැබිනට් අනු කමිටුවට නව පාසල් අධ්‍යාපන පනතක් හඳුන්වා දීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ලබා දීම, වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සඳහා මග පෙන්වීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීම යන විෂයයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර හිමිව තිබෙන බවද වාර්තා වේ.

අධ්‍යාපනය පුද්ගලීකරණයට ඇති බාධක ඉවත් වන සේ නව පනත් හඳුන්වා දීමට, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට සහ අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීමට මහින්ද රාජපක්ෂ පාලනයද උත්සාහ කළත් විරෝධතා නිසා එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ නොහැකි වී ඇතැයි ජනරළ වාර්තා කරයි.

හර්ෂනී රාජකරුණා

Leave a Reply