රැකියා විරහිත උපාධිධාරී කැදවුම්කරු ඇප මත මුදා හැර යළි බන්ධනාගාරයට

රැකියා අයිතිය වෙනුවෙන් අරගලයකදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා නගා රිමාන්ඩ් භාරයට පත් කළ ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරි සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුලු ක්‍රියාකාරින් අද දින ත්‍රික්‍රණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට මුදාහරින ලදී.

එහෙත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට කැදවුම්කරු හිමි ඉදිරිපත් කළ යුතු බව පවසමින් නැවත බන්ධනාගාරයට යොමුකරන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ අනුව තැන්නේ ඥානානන්ද හිමි 31 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට යළි රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. නැගෙනහිර පළාත් රැකියා විරහිත උපාධිධාරීන් පසුගිය මස 25 වනදින රැකියා දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් සභා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය අවස්ථාවේ සුපුරුදු පරිදි ආණ්ඩුව අධිකරණය හරහා වාරණයක් ගෙන විරෝධතාව නවතා දැමීමට උත්සාහ දරන ලදී. නැගෙනහිර පළාතේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබියදී රැකියා ලබානොදීම නිසා පළාත් උපාධිධාරීහු මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල අඛණ්ඩ සත්‍යග්‍රහය අරඹනු ලැබූ පසුද බලදාරින්ගේ මැදිහත්වීමක් නැති තැන පළාත් සභාව වටකරන ලදී. එහිදී අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා කරමින් කැදවුම්කරු හිමියන් ඇතුලු ක්‍රියාකාරීන් සිව්දෙනෙකු මැයි මස 23 දින අධිකරණයට කැදවා අධිකරණයට අපහාස කළ බවට චෝදනා නගමින් දින 7කට රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී.

අද(29) දින නැවත නඩුව කැදවූ පසු පොලීසියේ දැඩි අකමැත්ත මත ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරි සංගමයේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඇප ලබාදෙන ලදී. කැදවුම්කරු හිමියන් කොළඹ අධිකරණයේ පැවැත්වෙන නඩුවක් සදහා අවශ්‍ය බැවින් 31 දින දක්වා නැවත බන්ධනාගාර ගත කරන ලද අතර 31 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට බාරදීමට නියමිතය. අධිකරණයට අපහාස කළ චෝදනා සම්බන්ධ නැවත නඩු විභාගය ඔක්තෝබර් මස පැවැත්වේ.