විරෝධය නොතකා චුන්නාකම් බලාගාරය යළි විවෘත කරයි

chunnakam-power-station

ප‍්‍රදේශයේ ජලය දූෂණය කරන බවට චෝදනා එල්ලවීම නිසා අධිකරණ නියෝගයක් මත වසා දමනු ලැබූ චුන්නාකම් විදුලි බලාගාරය පසුගිය සඳුදා සිට යළි ක‍්‍රියාත්මක වන බව ජනරළට වාර්තා වේ.

ප‍්‍රදේශවාසීන් හා පරිසරවේදීන් ගොනු කළ පෙත්සමකට අනුව මල්ලාකම් අධිකරණය ජනවාරි 27 වැනිදා කම්හලේ කටයුතු අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කළ අතර පසුගිය සතියේ අදාළ සමාගම අභියාචනයක් මඟින් එය ඉවත් කොට ගෙන ඇත.

ඒ අනුව අපේ‍්‍රල් හය වැනි සඳුදා සිට ක‍්‍රියාත්මක වන පරිදි සියලූ සේවකයන් සේවයට වාර්තා කරන්නැයි නොදර්න් පවර් පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී ලාල් පෙරේරා නිවේදනයක් නිකුත් කොට තිබේ.

චුන්නාකම් බලාගාරයෙන් පරිසර දූෂණයක් සිදු නොවන බවට යාපනය විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසක් ලවා වාර්තාවක් ලබාගෙන ඒ හරහා මෙම පරිසර විනාශය අඛණ්ඩව කර ගෙන යාමේ උත්සාහයක් පවතින බව ජනරළ මීට සති කිහිපයකට පෙර වාර්තා කළේය.

දැන් එය යථාර්ථයක් වී ඇති අතර ළිංවල ජලය දූෂණය වී ඇත්තේ මෙම බලාගාරය නිසා බවත් මේ තත්වයට එරෙහිව දිගින් දිගටම සටන් වදින බවත් ප‍්‍රදේශවාසීහු පවසති.