ප්‍රධාන කර්තෘ වෙනුවෙන් හඩ අවදි කළ ඉරුදින කර්තෘ මණ්ඩලයත් මර්දනයට ලක් වේ!

ඉරුදින ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න සේවයෙන් ඉවත්කිරීමට විරෝධය පළ කළ එම පුවත්පතේ කර්තෘ මාන්ඩලිකයන් ද ලීඩර් කලමනාකාරිත්වය විසින් මර්දනයට ලක් කිරීමේ උත්සාහයක් වාර්තා වේ.

ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න මහතා අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සහ ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියෙන් සාකච්ඡාවක් ලබා දෙන තුරු රාජකාරි නොකරන බව ලිඛිත ව දන්වමින් පුවත්පතේ කර්තෘ මණ්ඩලය මගින් ඊයේ (01) වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලදි.

ඉන්පසු සුපුරුදු පරිදි අද (02) උදෑසන ඉහත ලිපිනයේ පිහිටි ලීඩර් හෝල්ඩින්ස් සමාගමට සේවය සදහා පැමිණි කසුන් පුස්සෙවෙල, ශාලික විමලසේන, දිල්හාන් විමල්ක, ජනක විජේගුණතිලක, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ බණ්ඩාර වැවගෙදර යන කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට ආයතනයට ඇතුල් වීම අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තහනම් කර ඇති බව ආරක්ෂක අංශය විසින් දැනුම් දෙන ලදි.

ආයතන පාලනාධිකාරියේ මේ අත්තනෝමතික ක‍්‍රියාමාර්ගයට එරෙහිව අදාළ කර්තෘ මණ්ඩල සාමාජිකයන් විසින් ගල්කිස්ස පොලීසියට, කම්කරු දෙපාර්තමේන්තුවට සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

Leave a Reply