හෙට සයිටම් විරෝධීන් එකතු කරන විරෝධතාවයට සියල්ල සූදානම් ! – අ.වි.ශි.බ.ම.

‘සයිටම් අහෝසි කරනු!‘ ඇතුලු සටන් පාඨ කිහිපයක් මුල්කරගෙන හෙට දින (8) පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට සියලු කටයුතු සූදානම් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

හෙට කොළඹ දක්වා එන විරෝධතා පාගමන් කැලනිය සිට නුවර කොළඹ මාර්ගයේ ද විජේරාම සිට බදුල්ල කොළඹ මාර්ගයේ ද වත්තල සිට පුත්තලම කොළඹ මාර්ගයේ සහ දෙහිවල සිට ගාල්ල කොළඹ මාර්ගයේ ද අගනුවර බලා පිටත්වනු ඇත. ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිදුවන බාධා නොමැති නම් මෙම විරෝධතා පෙරවරු 10.00ට  ආරම්භ කිරීමට නියමිතය.

සයිටම් විරෝධී අරගලයට නායකත්වය දෙමින් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන ආ සයිටම් විරෝධී සටන පුලුල් කරමින් දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා බහුජන සංවිධාන හා විවිධ විද්වතුන් හා කලාකරුවන් ඒකරාශි කළ වේදිකාවක් බව අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ලහිරු වීරසේකර කීය. හෙට දින විරෝධතාවයට අදාල සටන් පාඨ මෙසේය.

  • මාලබේ සයිටම් හෝ උපාධි කඩය අහෝසි කරනු!

  • අධ්‍යාපනයට අයවැයෙන් 6%ක් වෙන්කරනු

  • සරසවි බදවාගැනීම් ඉහළ දමනු!

  • පාසල්වල සිදුවන සියලු මුදල් අයකිරීම් නවතනු!

  • රජයේ රෝහල් තුළ ඖෂධ, රසායනාගාර සහ වාට්ටු පහසුකම් පුළුල් කරනු!

  • ඖෂධ මාෆියාවට එරෙහි වෙමු!

  • IESL, කොතලාවල ඇතුලු හොර උපාධි කඩ එපා!

  • ජනතා මුදලින් ඉදිකළ NSBM ආයතනය තුළ අධ්‍යාපනය විකිණීම නවතනු!

  • නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයේ නිදහසත් දින දිනාගැනීමට පෙළගැසෙමු.

පසුගිය 3 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් පැවැත්වූ කොළඹ විරෝධතා රැළියේදී එදින සහභාගි වූ සියලු සංවිධානවලට 8 වැනිදා විරෝධතාවට ආරාධනා කළ බවද අ.වි.ශි.බ.ම. කැදවුම්කරු වැඩිදුරටත් පැවසීය. ඔහු පවසන්නේ සයිටම් විරෝධී අරගලයේ පුලුල්තම සහභාගිත්වය පසුගිය දෙසැම්බර් 10 වැනිදා නුගේගොඩ පැවැති විරෝධතා රැළියේදී දක්නට ලැබුණු බවය. එදින දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා බහුජන සංවිධාන රැසක් සයිටම් අරගලය වෙත සිය සහෝදරාත්මක සහයෝගය පුද කළා මෙන්ම සටන ජයග්‍රහණය තෙක් දායකවන බවට පොරොන්දු ලබා දුන්හ. හෙට දින විරෝධතාවටද සම්බන්ධ වන එම සංවිධාන සියල්ල හෙට දින විරෝධතාවය සාර්ථක කරගැනීමට අධිෂ්ඨානයෙන් සිටින බවද ඔහු අප වෙත පැවසීය.

සයිටම් විරෝධතාවය ජනතාවගේ නිදහස් අධ්‍යාපන අයිතිය මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවා අයිතිය පුලුල් කරගැනීමේ අරගලයක් දක්වා ගෙනයාම තම උත්සාහයේ අරමුණ බවලංකාවීව්ස්වෙත අදහස් දක්වන සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු පෙන්වා දයි. තවද හෙට දින අ.වි.ශි.බ.ම. සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරය සාර්ථක කරගැනීමට සදහා සියලුම දේශපාලන පක්ෂවලට හා සංවිධානවලට ආරාධනා කර ඇති බවත් එකී අයිතින් ගරුකරන සියලුම ජනයාට එම පාගමන්වලට සහභාගිවන ලෙස ආරාධනා කරන බවත් එම නියෝජිතයා කියා සිටියේය.

සයිටම් පාර්ලිමේන්තු විවාදය අරගලය පාවාදීමේ උත්සාහයක්

මාර්තු මස 9 වැනිදා සයිටම් ආයතනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයක් කැදවනු ලබන හෙයින් ආණ්ඩුව සතු බහුතර ඡන්දයෙන් සයිටම් ආයතනය අනුමැතිය හිමි ආයතනයක් බවට පත්වනු ඇතැයි නීති අංශවල අදහසයි. 2009 සයිටම් ආයතනය ආරම්භ කළ අවස්ථාවේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ඒකරාශි කරමින් මෙම ව්‍යාජ අධ්‍යාපන ව්‍යාපාරික ආයතනයට එරෙහිව අරගලයක් කැදවූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එම ආයතනයට එරෙහිව පුලුල්තම බහුජන පෙරමුණ නිර්මාණය කර තිබේ. එම පුලුල් පෙරමුණ තුළ දිවයිනේ සියලුම වාමාංහික බලවේග එක පෙළට සිටගෙන අධ්‍යාපන පෞද්ගලිකකරණයටත් සෞඛ්‍ය සේවා පෞද්ගලිකකරණයටත් එරෙහි හඩක් මතු කළහ. ඉන්පසුව මෙම අරගලයට තමන් සහයෝගය දෙන බවට ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වය සහ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒක වූහ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එම දේශපාලන පක්ෂ සමග ජනතා විමුක්ති පෙරමුණටද ආරාධනා කරමින් මෙතෙක් කල් අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව ගෙන ගිය අරගලයේ කේන්ද්‍රය බවට සයිටම් අහෝසි කරනු යන සටන්පාඨය වටා බලවේග පෙළගැස්වීමට සමත් විය.

අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පෞද්ගලික අංශයට ආයෝජන අවස්ථා දිය යුතු බවට ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටි ජ.වි.පෙ. ‘සයිටම් ආයතනය රජයට පවරා ගනු!‘ වැනි දියාරු සටන්පාඨයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අ.වි.ශි.බ.ම. අරගලයට සම්බන්ධ වී සිටියේ නැත. කෙසේවෙතත් අධ්‍යාපන පෞද්ගලිකකරණයටත් සෞඛ්‍ය සේවා පෞද්ගලිකකරණයටත එරෙහි අරගලයක් දක්වා සයිටම් අරගලය පරිවර්තනය කරමින් මහින්ද රාජපක්සගේ මර්දනකාරී සමය තුළ අ.වි.ශි.බ.ම. කැපවීමෙන් ගොඩනැගූ අරගලය පොලිස් පහරදීම්, සිරගත කිරීම්, පන්ති තහනම් කිරීම් පමනක් නොව, ශිෂ්‍ය ඝාතනවලින් පසුබැස ගියේ නැත. අවසානයේදී වත්මන් හවුල් ආණ්ඩුවද පාර්ලිමේන්තුවේත් අධිකරණයේත්, බලය යොදවා ශිෂ්‍ය අරගලය මර්දනය කිරිම අරමුනු කරගෙන ක්‍රියාත්මක විය. එහෙත් දැන් වත්මන් හවුල් ආණ්ඩුවේ බල කේන්ද්‍රයක් සහිත පාර්ලිමේන්තුවේ විවාදයකට හා බෙදීමක් දක්වා යන්නට විවාදයක් ලබා දී තිබෙන්නේ ජ.වි.පෙ. නායක අනුර දිසානායකගේ ඉල්ලීමක් අනුවය. මේ අනුව, පැහැදිලි වන්නේ එම පාර්ලිමේන්තු විවාදය ඉල්ලා සිටිමින් සයිටම් ආයතනයට ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබාදීමේ කොටස්කරුවකු වන්නට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇති බවය.

මේ අතර මාර්තු 08 සහ 09 යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

තම ගැටළු විසඳා ගැනීම සඳහා වූ වුවමණාවක් බලධාරීන්ගේ ප්‍රාර්ශවයෙන් නොපෙන්වූ බවත් තම සංගමයේ සාමාජිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සහකාර ලේකම් ආචාර්ය අතුල සමරකෝන් මහතාගේ අත්සනින් නිකු කළ නිවේදනයකින් දැක් වේ.

Leave a Reply