2009 මැයි මසදී අවසන් වුණු යුද්ධය නිසා අවතැන්ව යුද හමුදාව වෙත බාර වුණු පුද්ගලයන්ගේ නාමලේඛනය ජනවාරි 30 වැනිදා මුලතිව් දිසාඅධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව දිසාවිනිසුරු එම්.එස්.එම්.සම්සුදීන් නියෝග කොට තිබේ.
ජනවාරි 03 වෙනිදා දිසාවිනිසුරුවරයා එම නියෝගය කළේ මුලතිව් අධිකරණයේ පවරා ඇති හබයාස්කෝපුස් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීය. යුදහමුදාව වෙත ඥාතින් විසින් භාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියගණනක් අතුරුදන් වී ඇති බවට බව හබයාස්කෝපුස් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කේ.එස්.රත්නවේල් කියා සිටියේය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හාරසියයක් පමණ යුද්ධය අවසානයේ ක්රිස්තියානි පූජකවරුන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් යුද හමුදා කදවුරට භාර වී ඇත. එම අවස්ථාවේ සැකකරුවන් බන්ධනාගාරයට ගෙන යන බව පවසමින් බස්රථවලට නංවා රැගෙන ගොස් ඇත. එම බස්රථවලට පූජකවරුන් දෙදෙනාද නංවාගෙන ගොස් ඇති අතර මේ වනවිට එම පූජකවරුන් දෙදෙනා සමගම එල්.ටී.ටී.ඊ. සාමාජික පිරිසද අතුරුදන්ව ඇත. මුලතිව් අධිකරණයට ඉදිරිපත්කර ඇති හබයාස්කෝපුස් පෙත්සම් 14ක් මේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධවය. පුජකයන් දෙදෙනා පිළිබද නඩු දෙකක් වවුනියාව අධිකරණයේ විභාග කෙරේ.