හම්බන්තොට ඉඩම් පැවරීම මහින්ද චින්තනයක්! – රාජිත කියයි

හම්බන්තොට ඉඩම් ඉඩම් අක්කර 15,000ක් චීනයට ලබාදීමට තීරණය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂෙගේ කාලයේ බවත්, ඔහු දැන් එයට විරුද්ධ වෙන්නේ ආණ්ඩු විරෝධය ඇවිලවීමේ අරමුණින් බවත් කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි.

සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේ කීවේ අද (4) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. මේ ආණ්ඩුව තවත් වසරක් බලයේ සිටියහොත් හිටපු ජනාධිපතිගේ පවුලේ සාමාජිකයන් වැඩි දෙනෙකුට සිදුවන්නේ සිරගතවීමට බව හොදින් දන්නා දැන් ආණ්ඩු වෙනසක් ගැන හිතෙන් මවාගෙන හිටපු ජනපතිවරයා වත්මන් ආණ්ඩුවට විරුද්ධව ප්‍රචාර ගෙනයවන බවද ඔහු පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.

“අපි මේවා කළින් කිව්වේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ දකුණු සහ ඌව පළාත් මැතිවරණවලදි මමත් මේ ගැන කිව්වා. හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ සුදු අලින් වගේ. මේවයින් ප්‍රයෝජන ගත්තේ නැතත් විශාල මුදලක් අපි ගෙවන්න ඕනෑ. මේවයෙන් ප්‍රයෝජන ගන්න ඒ අවට අයෝජන  කරන්න වෙනවා. චීනයට ඉඩම් විකුණන්නේ නෑ. ඉඩම් බදු දෙනවා පමණයි. එමගින් රැකියා අවස්ථා රැසක් ඇති වෙනවා. “

“ඕන කෙනෙකුට දැන් විරෝධතා පවත්වන්න පුළුවන්. ඒ කාලේ වගේ වෙඩි තියන්නේ නැහැනේ. නොරොච්චෝලේ විදුලිබලාගාරය සැලසුමක් යූඇන්පී ආණ්ඩුවෙන් යෝජනා කරද්දී හිටපු ජනාධිපතිත් ඊට විරුද්ධ වුණා. අන්තිමට ප්‍රදේශවාසීන් විරෝධතා තියෙද්දී හිටපු ජනාධිපතිවරයාම ගිහින් මුල් ගල තිබ්බා. ඒක තමයි හරිම ක්‍රමය. එදා මුල් ගල නොතිබ්බා නම් අද බලාගාරයක් නෑ. “

Leave a Reply