ස්වභාවික ආපදා සමයක් යළිත්!

අද (29) හා හෙට (30) ද ප්‍රදේශ රැසක යළි තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල එලෙස වැසි ඇතිවිය හැකි බවද ඇතැම් අවස්ථාවල මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි යැයි කාලගුණ අනාවැකි පළ වේ. බෙංගාල බොක්ක මධ්‍යයේ පවතින පීඩන අවපාත තත්ත්වය සුළි කුණාටුවක් වී ගමන් කිරීමේදී මෙම තත්වය උද්ගත වන බවට කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආර්. ජයසේකර පවසයි. පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි නිසා එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි. පසුගිය දිනවල දිවයින තුළට පිවිසෙන නිරිතදිත මෝසම් සුළං ප්‍රවාහය මුල්කොට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ බොහොමයකට වැසි සහිත තත්ත්වයක් උද්ගතවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබිණි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත.