වෛද්‍ය උපාධි විකුණන ‘සයිටම්‘ ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති ඒකාබද්ධව සහ වෙන් වෙන්ව තීන්දු ගෙන ක්‍රියාත්මක කළ සංකේත වර්ජනය සාර්ථකව අවසන් කළ බව එම වෘත්තිය සමිති ඊයේ (4) ජනමාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ.
රෝගීන්ට පවා අපහසුතා ඇතිවන නමුත් අකැමැත්තෙන් වුවද මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ග වෙත යන්නට සිදුව ඇත්තේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ප්‍රතිපත්තිය හෙළි කරන ලෙසත් එහි නීතිවිරෝධී කටයුතු සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් බව ඔවුහු පෙන්වා දෙති. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒකාබද්ධව ගෙන ගිය විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද එම සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කරති. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීමට සහ දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ සෞඛ්‍යය හා වෛද්‍ය සේවා වෙනුවෙන් පවත්වාගෙන ආ විශිෂ්ට සම්ප්‍රදායන් අමු අමුවේම උල්ලංඝනය කරමින් ‘සයිටම්‘ ආයතනය ක්‍රියාත්මකවීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ. වෛද්‍ය සභාව අනුමත නොකරන මෙම ආයතනය වෙනුවෙන් වෙනුවෙන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ පෙනී සිටීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සාමාන්‍ය ජනයා අතරද දැඩි විරෝධයක් පවතී.
රටේ ජනතාවගේ ජීවිත අනාරක්ෂිත කරන සහ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය අනාරක්ෂිත භාවයට පත් කරන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කර දැමිය යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෘත්තිය සමිති එක හඩින් අවධාරණය කරති. මෙම ක්‍රියාමාර්ගයට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවද ඔවුහු කියා සිටිති. දිගින් දිගටම නීතිවිරෝධී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කළහොත් ඉන් රටේ ජනතාවට ඇතිවන අනාරක්ෂිතභාවය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර වෛද්‍ය සභාවට පැමිණිලි කරන්නට හැකියාවක් ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් පැවසීය.