ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනමෙන් පසු අගමැතිගෙන් ප්‍රකාශයක්!

ranil-in-parlimant

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ඇති හෙයින් ජූලි මාසය අවසන් වීමට පෙර පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ කියයි.

පාර්මේන්තුවට ඉදිරිපත් කළ බදු සංශෝධන පනත සම්මත වූ පසුව, 2016 මැයි 2 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධිත මිල ගණන් අදාළ වන බවද ඔහු අවධාරණය කළේය. බදු සංශෝධනය සදහා ඉදිරිපත් කර ඇති පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන තුරු ‘අගය එකතු කිරීමේ බද්ද‘ (VAT) හා ‘ජාතිය ගොඩනැගීමේ බද්ද‘ (NBT) ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ‘වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බදු පනත‘ ජූලි මාසය අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවේදී නීතිගත වනු ඇතැයි බලාපොරොත්තුවන බවය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් රජයේ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියට බලපෑමක් ඇති නොකරන බවට අගමැතිවරයා බලාපොරොත්තුව පළ කළේය. පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය ජූලි 8 වැනිදා ඉදිරිපත් කළ වැට් සංශෝධන පනත දෙවැනිවර කියවීම ජූලි 23 වැනිදාට නියමිතය.