මෙවර වැට් බදු ඉහළ නැංවීමේදී උද්ඝෝෂණ කළ ව්‍යාපාරිකයන්ට පමණක් බදු සහනයක් දී තිබෙන බවත් උද්ඝෝෂණය නොකළ පාරිභෝගිකයන්ට කිසිදු සහනයක් දී නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
‘‘ආණ්ඩුව කියනවා උද්ඝෝෂණ කරන්න එපා, පාරවල් අවහිර කරන්න එපා කියලා. නමුත් ආණ්ඩුවට ඇහිලා තියෙන්නේ උද්ඝෝෂණ කරලා, පාරවල් අවහිර කරලා කියපුවා විතරයි. කලින් වැට් බද්ද වැඩි කළ වෙලාවේ ව්‍යාපාරිකයන් උද්ඝෝෂණය කළා. ආණ්ඩුව ඒකට ඇහුම්කන් දීලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වැට් බද්දෙන් නිදහස් කරලා තියෙනවා. මේ රටේ පාරිභෝගිකයන්ට එහෙම සංවිධාන නෑ. ඒ නිසා ඒ අය උද්ඝෝෂණ කළේ නෑ. ආණ්ඩුව උද්ඝෝෂණය නොකළ පාරිභෝගිකයන්ට කිසිම සහනයක් දීලා නෑ. ඒ නිසා යුරෝපයේ සහ ලෝකයේ වෙනත් රටවල වගේ ලංකාවේ පාරිභෝගිකයනුත් සංවිධානය විය යුතුයි. ’’ යැයිද පුබුදු ජයගොඩ පැවසීය.
කලින් බදු වැඩි කිරීමේ පනත ගෙනා අවස්ථාවේ එය අත්හිටුවීමට සිදු වූයේ නීතිමය අභියෝගයක් නිසා බවත් මෙවර ආණ්ඩුව එම නීතිමය අභියෝගය ජය ගෙන තිබෙන බවත් පැවසූ පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේ නීතිමය අභියෝගය ජයගත්තද ආණ්ඩුවට දේශපාලන අභියෝගය ජය ගැනීමට හැකි වී නැති බවයි. මෙම බදු සංශෝධනය මාස නවයකට පමණක් යැයි ආණ්ඩුව කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බවද ඔහු පැවසුවේය.
ආණ්ඩුව අවස්ථා දෙකකදී බදු පිළිබඳ තමන්ගේ ප්‍රතිපත්තිය පෙන්වා තිබේ. එක් අවස්ථාවක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී බදු ඉහළ නැංවීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වීමයි. ඒ බව මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේද සඳහන්ව තිබේ. මූල්‍ය අරමුදල කලින් සූදානම් වූයේ ඩොලර් බිලියන 0.86ක ණය මුදලක් ලබාදීමට වුවත් ආණ්ඩුව බදු ඉහළ නැංවීම හරහා බදු ඉහළ නැංවීම පිළිබඳ තමන්ගේ ප්‍රතිපත්තිය ණය ලබාදීමට පෙර ක්‍රියාත්මක කර පෙන්වූ නිසා ණය මුදල ඩොලර් බිලියන 1.5 දක්වා වැඩි කළේය. එමෙන්ම පසුගිය මාර්තු 08 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා බදු වැඩි කිරීම පිළිබඳ ප්‍රතිපත්තිය පැහැදිලි කර තිබේ. ආදායම් බද්ද 15% සිට 17.% දක්වා වැඩි කිරීමට ගත් තීරණය අහෝසි කරන බවත් ප්‍රාග්ධන බද්ද අහෝසි කරන බවත් සුපිරිවාසි සහ සුපිරි මන්දර බද්ද අහෝසි කරන බවත් අගමැතිවරයා පවසා ඇත. ඒ අනුව පොහොසතුන්ට පැනවූ බදු ඉවත් කර ඇති නමුත් භාණ්ඩ මත පැනවූ බද්ද ඉහළ දමා තිබේ.
11.5%ක්ව තිබූ වැට් බද්ද 15% දක්වා මෙම වැට් බදු වැඩි කිරීම මගින් ඉහළ යනු ඇත. එමෙන්ම රේගු බදු, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු ආදී වශයෙන් වූ සියලූ බදු පැනවූ පසුව භාණ්ඩයක මිලෙන් වැඩිම ප්‍රතිශතයක් වන්නේ ආණ්ඩුව අය කරන බදු යැයිද පුබුදු ජයගොඩ පැවසීය.
‘‘ආණ්ඩුවේ ආදායමෙන් 93%ක්ම බදු ආදායම. 7%යි වෙනත් ආදායම් තිබෙන්නේ. ඒ බදු ආදායමෙන් 18%යි ආදායම් බද්ද. ඉතිරි 82%ම සාමාන්‍ය ජනතාවගෙන් අය කරන භාණ්ඩ මත පැන වූ බදු. ආණ්ඩුව කියනවා ණය ගෙවන්නයි මේ බදු එකතු කරන්නේ කියලා. මොනවටද ණය ගත්තේ. අපිට කන්න දෙන්න, භාණ්ඩ ගෙන්වන්න වියදම් වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 19යි. ඒකෙන් බිලියන 10ක් ලංකාවේ ජනතාව රට ඇතුළේ වැඩ කරලා උපයලා දීලා තියෙනවා. තවත් ඩොලර් බිලියන 7ක් විදේශගත ලාංකිකයන් උපයලා දීලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට කන්න දෙන්න ගිය වියදම මේ රටේ ජනතාව උපයලා දීලා තියෙනවා. ඇත්තටම ණය ගත්තේ ජාත්‍යන්තර හොරුන්ට, තක්කඩියන්ට යටිතල පහසුකම් සපයන්න. ඒ බර තමයි ජනතාව පිට පටවන්නේ. ණය වාරිකය ගැන කියන කතාවත් බොරුවක්. ගෙවන්න තියෙන ණය වාරිකය මිලියන 4000ක් කියන එක කරුණක් විදියට වැරදියි. ඒකෙන් 2500ක්ම ආණ්ඩුව ගිය අවුරුද්දේ ගත්ත ණයක්. ඒ ණය ගත්තේ වසරක් ඇතුළත ගෙවන පොරොන්දුව මත. දැන් ඒ ණයත් වාරිකයට එකතු කරලා කියනවා.’’ යැයිද පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේය.
මෙම බදු වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සමග ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට යාමට තම පක්ෂය සූදානම් බවත් ඊට අදාළ සාකච්ඡුා සිදු කෙරෙමින් පවතින බවත් පැවසූ පුබුදු ජයගොඩ ජනතාව දැනුවත් කරමින්, සංවිධානය කිරීමට පියවර ගන්නා බවද පැවසුවේය.