ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිල සහ මෛත්‍රී පිල අතර ගැටුම උග්‍ර වී හිරියාල ආසන සංවිධායක ධුරය සඳහා දෙපැත්තෙන් දෙදෙනෙකු පත් කර තිබේ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකට යළි එම සංවිධායක ධුරය ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වු හිරියාල ආසන බල මණ්ඩලය කටයුතු කර තිබේ. ඉබ්බාගමුවේ පැවති මෙම හිරියාල ආසන බල මණ්ඩල රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, සාලින්ද දිසානායක ද ඇතුළු එම පක්ෂයේ ප්‍රබලයන් රැසක් ද එක්ව සිටියහ. අප්‍රේල් 28 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් සාලින්ද දිසානායකව හිරියාල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර නව සංවිධායක ලෙස දොන් කමල් ඉන්දිකව පත් කරනු ලැබීය. ඊයේ නැවත එම තනතුරට සාලින්ද දිසානායක පත් කිරීමත් සමග හිරියාල ආසන සංවිධායක වරුන් දෙදෙනෙකු සිටී.