ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය ලිබරල් වේදිකාවෙන් අරගල බිමට මාරු වෙලා – පුබුදු ජයගොඩ

atawana ugul colombo

වත්මන් ආණ්ඩුව නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වී ඇත්තේකොක්කෙන් බැරි නම් කෙක්කෙන් යන පදනමින් නිසා යම් අවංක අදහසකින් ආණ්ඩුවට උදව් කළ අයට තීරණයක් ගන්න බලකර තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්වය තේමා කරගෙන “අටවන උගුල් මත නැටවෙන රූකඩ” නමින් අගෝස්තු (15) සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණය අමතමිනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රටපුරා පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණ මාලාවක ආරම්භක පියවර ලෙස පැවැති සම්මන්ත්‍රණයේදී ප්‍රචාරක ලේකම්වරයා මෙසේද සදහන් කළේය.

“මීට අවුරුදු එක හමාරකට කලින් අපි කියපු අදහසක් තිබුණා. මූණු මාරුවක් කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගන්න, ජාතිවාදය පරාජය කරන්න බෑ කියලා. හොරකම් නවත්තන්න බෑ කියලා. දෙවැනි මහින්ද කෙනෙක් බිහි වීම විතරයි වෙන්නේ කියලා. ඊට වෙනස් මත දරපු අය හිටියා. ආණ්ඩුව මාරු කරලා ඒවා දිනා ගන්න පුළුවන් කියලා අවංකව හිතපු අය හිටියා. දැන් අවුරුදු එක හමාරකට කලින් අපි තැන් දෙකක හිටියේ. දැන් ඇති වෙලා තියෙන තත්වය තුළ අපට එක තැනකට එන්න පුළුවන්. අපට එක වේදිකාවක, එක්සත් පෙරමුණක ඉඳගෙන එක්සත් ක‍්‍රියාමාර්ගවලට යන්න පුළුවන්.

මාලඹේ සයිටම් එකට අදාළ ප‍්‍රශ්නය සලකන කොට පැහැදිලිව පෙනෙන්න තියෙනවා ආණ්ඩුවේ අරමුණ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීම බව. දැන් පුරවැසි බලය වගේ සංවිධාන කියන්න ඕන මේ ගැන තමන්ගේ මතය. ඒ ගැන තියෙන ස්ථාවරයන් නිසා ඒ සංවිධාන දැන් දෙකඩ වෙමින් තිබෙනවා. ඒක ඉස්සරහට තව උග‍්‍ර වෙනවා. ආණ්ඩුව ඉස්සරහා දණ ගහලා, පඬුරු පාක්කුඩම් ගන්නේ කවුද කියලා පෙනෙමින් තිබෙනවා. එහෙම නැති අය ඉවත් වෙමින් ඉන්නවා.

නව ලිබරල් ප‍්‍රතිසංස්කරණවලට එකඟද නැද්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ආණ්ඩුව එක්ක ඉන්නවාද නැත්නම් අරගල කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගන්නවාද? ජාතිවාදය සම්බන්ධයෙන් ගත්තම ජාතිවාදයත් එක්ක ඞීල් ගහනවාද නැත්නම් සටන් කරනවාද? දැන් බෙදුම් රේඛාවක් සටහන් වෙමින් තිබෙනවා. බලවේගවලට දැන් පැත්තක් තෝරා ගන්න සිදුවෙමින් තිබෙනවා.

අප එක් දෙයක් වටහා ගත යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්න කියන්නෙ පාලකයන්ගේ හොඳ නරක පිළිබඳ ප‍්‍රශ්න නොවෙයි. හාවෙක් වෘකයෙක් කරන්න පුළුවන් සමාජ ආර්ථික තත්වයක් තිබෙන්නේ. මාක්ස්වාදීන් න්‍යායෙන් කල් තබා තේරුම් ගන්න සමහර දේවල් ජනතාව තේරුම් ගන්නේ දුෂ්කර අත්දැකීම්වලින් කියලා අපි දන්නවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සටන්පාඨය මැතිවරන වේදිකාවලදි ලිබරල් බුද්ධිමතුන්ගේ ප‍්‍රශ්නයක් වීමේ සිට අද වනවිට කම්කරුවන්ගේ, වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්නයක් බවට පත් වෙමින් තිනෙවා. සරසවි අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනය කරද්දී අහවල් දවසේ සේවයට නාවොත් සේවය අතහැර ගියා සේ සලකනවා කියලා දැනුම් දුන්නා. කැලණිය සිසුන් දින 75කට වඩා රිමාන්ඞ් එකේ තැබුවා. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අරගලය තිබෙන්නේ සිසුන්ගේ අරගලය තුළ. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සටන තිබෙන්නේ කම්කරුවන්ගේ අරගල බිමේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අවංක අභිලාෂයන් ඇතිව සටන් කළ කිසිවකුට ඒ වේදිකාව හැර වෙන තැනක් නෑ.

ආර්ථිකයේ මොකක්ද වෙමින් යන්නේ? ආණ්ඩුව ‘පංචවිධ ප‍්‍රතිපත්තිය‘ කියලා මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ එළිදැක්වූවා. ආයෝජකයක් ගෙන්වීම ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය ලෙස සඳහන් කර තිබුණා. ආර්ථික සංවර්ධන අධි කලාප 45ක් විදේශ ආයෝජකයන් හරහා ඉදි කරනවා කියලා. කර්මාන්ත අධි කලාප 11ක්, වානිජ කෘෂි කාර්මික අධි කලාප 23ක්. ශ‍්‍රී ලංකාව ගොලීය ගෙවත්ත කරනවා කියලා සඳහන් කරලා තිබුණේ. දැන් අවුරුදු එක හමාරක් ගිහින් තිබෙනවා. මේකයි හානිකරයි. ගොවියා විනාශ කරලා, ගොවියා කෘෂිකාර්මික කම්කරුවෙක් බවට පත් කිරීමයි මේකේ අරමුණ කියලා අපි කිව්වා. නමුත් දැන් අවුරුදු එක හමාරකට පස්සේ කවුද කාර්මික, කෘෂිකාර්මික ආයෝජකයන් ඇවිත් තිබෙන්නේ. ජේ.ආර්ගේ කාලේ ඉදලා ආයෝජකයන් ගෙන්වනවා. නමුත් හැම අවුරුද්දෙම ආයෝජකයන් ඇවිත් තිබෙන්නේ 0.1කට අඩුයි. ලෝකේ යන්නේ ඔය පැත්තේ නොවෙයි.“

ලෝක ආර්ථික අර්බුදය ආවාට පස්සේ මූල්‍ය සමාගම් අස්ථාවර වෙද්දී ආරක්ෂාව පතා ආසියාවේ, ලතින් ඇරිකාවේ රටවලට ප‍්‍රාග්ධනය යවන උපක‍්‍රමයක ඔවුන් හිටියා. නමුත් 2012න්, 2013න් පස්සේ නැවත සාච්ඡාවක් තිබෙනවා පරිධියේ රටවල තිබුණු ප‍්‍රාග්ධනය නැවත කේන්ද්‍රීය රටවලට ගෙන යාම පිළිබඳව. පසුගිය මාස කිහිපය ගත්තොත් විශාල පරිමාණයේ බහුජාතික සමාගම්වල ආයෝජනවලින් 98%ක් වෙලා තිබෙන්නේ සංවර්ධිත රටවල. ඒ නිසා තවදුරටත් පරිධියේ රටවලට ඔය කියන විදියට ප‍්‍රාග්ධනය එන්නේ නෑ.

ආයෝජකයන් කැන්දා ගන්න නම් මෙහේ කොන්දේසි ලිහිල් කියලා පෙන්වන්න  ඕන. ඇයි ඔවුන් ලංකාවට එන්නේ නැතිව බංගලාදේශයට, තායිලන්තයට, වියට්නාමයට, ඉන්දියාවට යන්නේ? ඒ රටවල කම්කරු නීති ලංකාවේ කම්කරු නීතිවලට වඩා දුර්වලයි. ඒ රටවල පරිසර නීති ලංකාවේ පරිසර නීතිවලට වඩා දුර්වලයි. ඒ රටවල ශ‍්‍රමයේ මිල ලංකාවේ වැටුප් තලවලට වඩා පහළ මට්ටමක තියෙන්නේ. ආයෝජකයන් ගෙන්වා ගන්න නම් ලංකාවේ කම්කරු අයිතිවාසිකම්, පරිසර නීති සහ වැටුප් තල ලිහිල් කරන්න  ඕන. ජනතා විමුක්ති පෙරමුණ එළිදක්වපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ කියලා තිබුණා ඔවුන්ගේ අරමුණ බංගලාදේශයට, වියට්නාමයට, ඉන්දියාවට යන ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම කියලා.

ලංකාවේ ආර්ථිකයේ අර්බුදය විදියට කියන්නේ පාලකයන් අපට කියන්නේ ණය බර, අය වැය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟය. ඒවායින් බේරෙන්නේ කොහොමද ඇහුවාම කියන්නේ ලංකාව බහුජාතික සමාගම්වල ගොදුරු බිමක් කළාම මේක ඉවරයි කියලා. නමුත් ඇත්ත ප‍්‍රශ්නය ඒක නොවෙයි. ආර්ථිකයේ ඇත්ත ප‍්‍රශ්න ඉදිරියට ගෙන එන්න  ඕන. ණය අරන් තියෙන්නේ අපට කන්න දෙන්න නොවෙයි. වෙළෙඳ ශේෂ හිඟයට අපි වගකිව යුතු නැහැ. ගිය අවුරුද්දේ අපට කන්න දෙන්න ගිහින් තියෙන්නේ ඩොලර් බිලියන 18යි. එතැනින් 17ක් ජනතාව හොයලා දීලා තියෙනවා. විදේශගත ශ‍්‍රමිකයන් ඩොලර් බිලියන 7ක් සහ රට තුළ වැඩක රන ජනතාව ඩොලර් බිලියන 10ක් හොයලා දීලා තිබෙනවා. ඒ නිසා අර්බුදයක් තියෙනවා නම් ඒකට වගකිව යුත්තේ ජනතාව නොවෙයි, පාලක පන්තිය.

රනිල්ලා බලයට එන්න කලින් ජනතාවට බදු සහන දෙනවා කිව්වා. නමුත් දැන් මොකද කරන්නේ? වරාය නගරයේ නම වෙනස් කරලා මූල්‍ය නගරය කරලා ඒකේ ආයෝජනය කරන්න එන සමාගම්වලට අවුරුදු 25ක් බදු සහන දෙනවා. නමුත් ජනතාවට එක අවුරුද්දක් බදු සහන දෙන්නේ නෑ. ලබන නොවැම්බර් මාසේ අය වැය එන්න තිබෙනවා. එතකන් ඉන්නේ නැතිව මැයිමාසේ බදු වැඩි කළා. නමුත් ධනපතියන්ට අවුරුදු 25ක් බදු සහන දෙනවා.

දැන් මහින්ද රාජපක්ෂ උත්සාහ කරනවා, එයාට ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කියන්න. එයා කොහොමද ප‍්‍රශ්න විසඳන්නේ? එයා ප‍්‍රශ්නවල නිර්මාතෘවරයෙක්. නවලිරල් සැලැස්ම වෙනුවට එයාට වෙනත් තිබෙන සැලැස්ම මොකක්ද? මූල්‍ය නගරය වෙනුවට වරාය නගරය හදනවා කියයි. දෙකම එකයි. අධිනාගරික කලාප වෙනුවට ජාතික භෞතික සැලැස්ම ක‍්‍රියාත්මක කරනවා කියයි. දෙකම එකයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහනවා කියන්න පුළුවන්ද? මහින්ද හදපු පනත තමයි ලබන අවුරුද්දේ ගේන්න හදන්නේ.

ජවිපෙ ගැන කියන්න දෙයක්වත් නෑ. එක වෙලාවකට වාමාංශික සටන් පාඨ කියනවා. දක්ෂිණාංෂික සටන් පාඨ කියනවා. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ගහනවා. වේදිකාවලට ඇවිත් ජාතිකවාදී කතා කියනවා. හැම ජාතියේම ඒවා එකතු කරලා පෘට් සැලඞ් එකක් හදාගෙන තියෙනවා. ආණ්ඩුවේ ප‍්‍රකාශකයා වෙන ගමන් ආණ්ඩු විරෝධයේ ප‍්‍රකාශකයා වෙන්නත් හදනවා. අද එයාලා සම්මන්‍්‍රණයක් කරනවා හොරු ඇල්ලූවේ නෑ කියලා කියන්න. හැබැයි හොරු ඇල්ලීමේ වගකීම තියෙන්නේ ඒ ගොල්ලන්ට. හොරු අල්ලන්න කැබිනට් මණ්ඩලය හදපු කමිටුවේ ඔක්කොම ඉන්නේ රජයේ නිලධාරීන්. එක  දේශපාලකයයි ඉන්නේ, ඒ ජවිපෙ නායක අනුර දිසානායක. ජවිපෙ ආණ්ඩුවට යන්නේ නෑ කිව්වට ඇමතිකම් අරගත්තේ නැති එක විතරයි. ආණ්ඩුවේ තනතුරු අරගෙන තියෙනවා. මේක නවීන සමාජවාදයද නවීන සභාගවාදයද? මේ තමයි සුළු ධනේෂ්වර චපලත්වය. එයාලාට ජනප‍්‍රිය වෙන්න පුළුවන්. නමුත් බලවේග ගොඩනගන්න බෑ.

දැන් අපි මොකද? කරන්නේ? අපි ඉස්සරහට නවලිරල් ධනවාදය ඇවිත් තිබෙනවා. ජාතිකවාදී මූලධර්මවාදී වෙස්මුහුණ යටතේත් ඒකම ඇවිත් තිබෙනවා. අපට මේ දෙකෙන් එකක් තෝර ගන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල්ගේ ව්‍යාපෘතිය තෝරා ගන්න පුළුවන්. ඒ තමයි, අපි දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙන් ඉවත් වී නිර්දේශපාලනය වීමේ දේශපාලනයට එන්න පුුළුවන්. ඒවා එකක්වත් සාර්ථක නෑ. නවලිබරල් ධනවාදය සාර්ථක වෙලා තියෙන්නේ කොහේද? ජාතිකවාදයත් අසාර්ථකයි. අලූතෙන් කියන්න කිසිම දෙයක් නෑ. පරණ දේවල් තමයි තාමත් කිය කියා ඉන්නේ.

ජනතාවට දේශපාලන ක‍්‍රියාකාරීත්වයට ඇවිත් දිනා ගන්න දේවල් විතරයි තියෙන්නේ. දේපාලනයෙන් ඉවත් වුණු අයට වෙන දේවල් ලෝකය පුරා අපි දැකලා තියෙනවා. ඒ නිසා තෝරා ගන්න වෙනත් විකල්ප නෑ. විකල්පය සමාජවාදය. මේ සමාජය ප‍්‍රාග්ධනය වෙනුවෙන් සංවිධානය කළ සමාජයක්. සමාජවාදය කියන්නේ ඒ සියල්ලට වඩා සමාජය, ජීවිතය, පරිසරය, චින්තනය වටිනවා කියලා හිතන සමාජයක්. ඒ නිසා තමයි අපි කියන්නේ විමුක්තිය සඳහා දේශපාලනය කරනවා නම්, ඒ දේශාලනය සමාජවාදය සඳහා වන දේශපාලනය විය යුතුයි. වෙන විකල්පයක් ඉතිරි වෙලා නෑ.