ජූලි මාසයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන වාර්ෂික ඇසළ පෙරහැර සඳහා පින්නවල අලි නිවහනෙන් අලි 6ක් ලබාගැනීමට තීරණය කර තිබේ.
පසුගිය කාලයේ නීති විරෝධී ලෙස අලි පැටවුන් ජාවාරම් කිරිමෙන් අධිකරණයට පමුණුවනු ලැබූ මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු ප්‍රභූ පිරිසක් වෙනුවෙන් හීලෑ අලි ඇතුන්ගේ සංගමය නමින් සිදුකළ ජනමාධ්‍ය ප්‍රකාශයකින් කියැවුණේ මෙවර ඇසළ පෙරහර සදහා අලි ඇතුන් ලබාදීමට නොහැකි බවය. මේ නිසා මහනුවර දළදා මන්දිරය ආශ්‍රිතව හා වෙනත් විහාරස්ථාන මූලික වී සිදුකරන වාර්ෂික සංස්කෘතික කටයුත්තක් ලෙස ඇසළ පෙරහර සදහා අලි ඇතුන් ලබාගැනීම ප්‍රශ්නයක් වන ලකුණු පළ විය. ඒ අනුව, පින්නවල අලි නිවහනින් අලි 6ක් සහ නිරවුල් ලිපි ලේඛන ඇති අලි හිමියන්ගෙන් අලි ඇතුන් ලබාගන්නට තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය තීරණය කළේය. ඒ අනුව, එසේ නීත්‍යනුකූල අලි හිමියන්ට පෙරහරට සතුන් ලබාදීමට හැකිවන පරිදි වනජීවීයෙන් නිත්‍යානුකූල බලපත්‍ර ලබා දීම ලබන 8 වැනි දා සිදු වන බව වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම ඇමතිවරයා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
ඇමතිවරයා විසින් දියවඩන නිලමේ ඇතුළු නිලමේවරුන්ගේ සංගමය සහ හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සමාජිකයන් සමඟ පැවත්වූ සාකච්ඡාවේදී පෙරහැර සඳහා අලි ප්‍රමාණවත් සංඛ්‍යාවක් ලබාදීමට තමන් සූදානම් බවත් හැකි නම් තවත් අලි 5ක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබේ. මේ අනුව සංඛ්‍යාත්මක වශයෙන් හීලෑ අලි ඇතුන් 80ක් පමණ සිටින බැවින් පෙරහැර සඳහා එය ප්‍රමාණවත් බවත් ඇමතිවරයා පවසයි.