පෙරේදා (25) දිනයේ දී නේපාලයේ ඇති වූ භූකම්පනය හේතුවෙන් රාජපක්ෂ පාලන සමයේ දී ජීවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලා ගොස් එහි දේශපාලන රැකවරණ ලබා ගෙන සිටි ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනකු ගේ ජීවිත ද අනතුරට ලක්ව ඇත.
ඔවුන් නවාතැන් ගෙන සිටි නිවාස බරපතල ලෙස විනාශ වී ඇති අතර ඔවුන් ගේ ජිවිත බේරී ඇත්තේ අනු නවයෙනි.
‘පතුල’ වෙබ් අඩවියේ කර්තෘ ජයම්පති බුලත්සිංහල හා ‘ලංකා නිව්ස් වෙබ්’ අඩවියේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කරන කුමී විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන අංශය විසින් පවත්වාගෙන ගිය ‘ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවියේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ ශාන්ත විජේසුරිය මෙසේ ජිවිත අවධානමට ලක්ව සිටින පිරිස අතර වෙති.
නේපාලයේ ජිවත්වන ලාංකිකයන්ට අවශ්‍ය නම් නැවත ලංකාවට පැමිණිමට පහසුකම් සපයන බවට ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ දැනුම් දී සිටි අතර, ඒ අනුව සහනාධාර රැගෙන ඊයේ (26) අලුයම ලංකාවෙන් පිටත්ව ගිය සී. 130 දරන යානයෙන් අවශ්‍ය නම් ඔවුන්ට ලංකාවට පැමිණිය හැකි බව ද අවධාරණය කර තිබුණි.
දේශපාලන රැකවරණ ලබාසිටින මාධ්‍යවේදීන් තිදෙනා ලංකාවට ඒමට කත්මන්ඩු ගුවන් තොටුපළට පැමිණ ඇතත්, එම ගුවන් යානයෙන් ඔවුන් රැගෙන ඒම ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔවුන් දේශපාලන රැකවරණ ලබා දැනට වසර 03කට වැඩි අතර, ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර කල් ඉකුත්ව ගොස් ඇති නිසා බව සැවසේ. ඔවුන් ළග දැනට ඉතිරිව ඇත්තේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් දේශපාලන රැකවරණය ලබා දී ඇති බවට ලබාදෙන බලපත්‍රයක් පමණි.
දේශපාලන රැකවරණ ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් බලපත්‍රයක් පමණක් ලබාදෙන බවත්, එම කාර්යාලය ද මේ වනවිට විනාශවී ඇති බැවින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදෙන ලෙස මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල කළ බැගෑපත් ඉල්ලීමට නේපාලයේ ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැතැයි පැවසේ.
නේපාලයේ සිටිනා ලාංකිකයන්ගෙන් 35 දෙනකු ඊයේ (26) දින සවස මෙරටට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළේ ය.
නේපාලයේ ජනතාවට සහන සැලසීමට මෙරටින් පිටත්ව ගිය ලාංකික කණ්ඩායම එරටට අද උදේ 10.30ට ඇතුළුවී තිබෙන බවත්, මෙම පිරිස රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී.130 යානයෙන් එරට රැඳී සිටින 35 දෙනකු මෙරටට රැගෙන එන බව ද ඔහු පවසා සිටියේ ය.
මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී නේපාලයේ සිටින මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු දී ඇත්තේ එම මාධ්‍යවේදීන්ව විහිළුවට ලක්කරමින් බව වාර්තා වේ. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ ‘‘මෙහෙ තියෙන සුදු වැන් ටික නේපාලෙට යවමු යනුවෙනි.’’