රජයේ සේවා විශ්‍රාම වැටුප් වෙනුවට සේවය අගයන දීමනාවක් දෙන්න ආණ්ඩුව සැරසෙයි!

රජයේ සේවකයන් සදහා දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට සේවය අවසන් කෙරෙන අවස්ථාවේ එතෙක් සිදුකර ඇති සේවය ඇගයීම සදහා ප්‍රමාණවත් දීමනාවක් ලබාදෙන නව ක්‍රමයක් සම්පාදනය කිරීමට සැලසුම් සකස්කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය යටතේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සඳහා වාර්ෂික අය-වැයෙන් රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කරනු ලබයි. කෙසේවෙතත්, රාජ්‍ය සේවකයාට ජීවිතයේ සැදෑ සමය යහපත් අයුරින් ගෙවිය හැකි ආර්ථික ශක්තියක් එකවර ලබා දිය හැකි ක්‍රමයක් සැලැසුම් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව කම්කරු හා වෘත්තිය සබදතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ. එසේම කම්කරු නීතියක ආවරණය නොමැතිව පවත්වාගෙන යනු ලබන ‘මෑන් පවර්’ සේවාව නීතියට අන්තර්ග්‍රහණය කිරීමේ ප්‍රථම පියවර ලෙස සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්ති භාරකාර අරමුදලට මෑන් පවර් සමාගම් ඇතුළත් කිරීම සඳහා පනතක් ගෙනෙන බවද රාජ්‍ය ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.