මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රක්ෂිත බන්නාගාර ගත කර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය 28 වන දා සිට බලපැවැත්වෙන පරිදි නාවුක හමුදා සේවයෙන් ඉවත් කළ බව නාවුක හමුදාව පවසයි. මෙසේ යෝෂිත රාජපක්ෂගේ සේවය අත්හිටුවා ඇත්තේ යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ ස්වාධීනව පවත්වාගෙන යායුතු බැවින් සේවය අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් කළ නියෝගයකට අනුව නාවුක හමුදාපතිවරයා විසිනි.
මෙම නියෝගය අනුව 2016 පෙබරවාරි 28 දින සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ නාවුක හමුදා සේවයෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවෙන් මෙතෙක් සිදු කළ සියලු ගෙවීම් ද අත්හිටුවා ඇත.
යෝෂිත රාජපක්ෂ 2006 වර්ෂයේ නාවුක හමුදාවට බැදුණු අතර, ඔහුගේ සුදුසුකම් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විවිධ අදහස් හා පුවත් පළ විය. යෝසිත රාජපක්ෂ සිය පියාගේ ජනාධිපති බලතල යොදා ගනිමින් සුදුසුකම්වලින් බැහැරව නාවුක හමුදා ලුතිනන් නිලයට පත් වූ බවත්, සුදුස්සන් කපා හැර ඔහු අවස්ථා ගණනාවක දී විදෙස් පුහුණුව සදහා සම්බන්ධ වී ඇති බවටත් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.


