මෛත්‍රී ගොවියාගේ අමුඩය ගලවයි – පොහොර මිටියක් රු.2500යි

Mithree-on-Paddy

රජය මගින් සියලුම වර්ගවල පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් සදහා රු.2,500.00ක උපරිම මිලක් නියම කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයෙන් දක්වා ඇත්තේ ගොවි ජනතාව මුහුණ පා ඇති ගැටළුව සම්බන්ධයෙන් අදාල mithඅංශ සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ රජයේ පොහොර මෙන්ම පෞද්ගලික අංශයේ පොහොර ද ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදාහැරීමට මේ අනුව ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත්, පොහොර මිටියේ මිල රු.2500.00ක් වන බවත්, එම මුදල පොහොර මිටියේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් නියෝග කළ බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගොවි ජනතාව සිය විරෝධය දක්වමින් පවසන්නේ පොහොර සම්බන්ධයෙන් ගොවීන්ට මතුව ඇති ගැටළුව නිරාකරණය කරනු වෙනුවට ජනාධිපතිවරයා විසින් ගොවීන් රවටා මාධ්‍ය සන්දර්ශන පවත්වන බවත්, මෙය අතීසාරයට අමුඩ ගැසීමක් පමණක් නොව, ගොවියාගේ අමුඩය ගැලවීමක් බවයි.

පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව පසුගිය කාලය පුරාම රට පුරා විවිධ ආකාරයේ විරෝධතා දක්වමින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළෝය. ඒ අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ මීට පෙර පැවැති පොහොර සහනාධාරය එලෙසම ලබා දෙන ලෙසයි. ඒ අනුව ගොවීන් ඉල්ලා සිටියේ මීට පෙර ලබා දුන් ආකාරයට පොහොර මිටියක් රු.350.00ක මිලට ලබා දෙන ලෙසයි.

එමෙන්ම ගොවීන්ගේ තවත් ඉල්ලීමක් වූයේ “සල්ලි එපා – පොහොර දියවු“ යන්නයි. මේ අනුව වත්මන් රජය විසින් හදුන්වා දී ඇති හෙක්ටයාරයකට රු.25,000.00ක් ලබා දීමේ ප්‍රෝඩාව වෙනුවට පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ගොවීන් දිගින් දිගටම ඉල්ලීම් කළේය.

එමෙන්ම ගෙවීන් පෙන්වා දුන්නේ මෙම සහනාධාර ලබා ගැනීමේදී ගොවීන් අපහසුතාවයට පත් කරන කරුණු වහාම ඉවත් කර ගන්නා ලෙසයි. මෙම පොහොර සහනාධාරය ලබා ගැනීමට නම් ගොවීන් විසින් පොහොර සහනාධාර පත්‍රිකාවක් පිරවිය යුතු බවත්, ඊට අමතරව ඡායාරූප දෙකක් ලබා දිය යුතු මෙන්ම, ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ ගිණුමක් විවෘත කිරීම අනිවාර්ය ලෙස දක්වා තිබුණි. ඇතැම් ප්‍රදේශවල දක්වා තිබුණේ මෙම ගිණුමට අමතරව ගොවිජන බැංකුවේ ද ගිණුමක් විවෘත කළ යුතු බවයි. කෙසේ වෙතත් මෙම කරුණු සපුරාලීම සදහා ගොවීන්ට දිගු කාලයක් විවිධ ආයතනවල රස්තියාදු වීමට සිදුව තිබිණි. ඇතැම් ප්‍රෙද්ශවල ගොවීන් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට දින 5ක් බැංකුවල රස්තියාදු වී ඇත. ගොවීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ ගොවීන් අපහසුතාවයට පත් කරන මෙම ක්‍රියාවලිය වහාම ඉවත් කර ගන්නා ලෙසයි.

තත්වය මෙසේ තිබියදී ගොවීන්ගේ ඉල්ලීම් කිසිවකට කිසිදු විසදුමක් ලබා නොදී හදිසියේම ජනාධිපතිවරයා විසින් පොහොර මිටිය රු.2500.00කට ලබා දීම අද රජයට හිතවත් මාධ්‍ය විසින් දක්වා තිබුණේ මහා ප්‍රාතිහාර්යක් ලෙසිනි. නමුත් ගොවීන්ගේ ඉල්ලීම් කිසිවකට විසදුම් ලබා නොදෙමින් පොහොර රු.2500ට ලබා දීම කිසි සේත්ම ගොවි ජනතාවගේ සහනය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් නොවන බවත්, මෙය රජයේ සන්දර්ශන වැඩපිළිවෙලේ තවත් එක් අවස්ථාවක් පමණක් බවත් පැහැදිලිය.