ආණ්ඩුව පොරොන්දු වුයේ පොහොසතුන්ගෙන් ගෙන දුප්පතුන්ට දෙන සරදියෙල් පන්නයේ අයවැයක් වුවත් ඉදිරිපත් කර ඇත්තේ ජෝර්ජ් සොරෝස් පන්නයේ මූල්‍ය ජාවාරම්කාර අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. දෙසැම්බර් 3 වැනිදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
“රටේ තියෙන ප්‍රශ්නය අද පුවත්පත් දෙස බැලුවාම පෙනෙනවා. එක පුවතක තියෙන්නේ අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුනා කියලා. අනෙක් පුවතේ තියෙන්නේ අයවැයට එරෙහිව රට පුරා විරෝධතා කියලා. පොත් වල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා නියෝජිතයෝ කියලා. ඒත් මේ අයවැය ගැන ජනතාවගේ මතයයි පාර්ලිමේන්තුවේ මතයයි අතර තිබෙන විශාල පරතරය මගින් ඔප්පු වෙනවා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජනයක් නෑ කියලා. පාර්ලිමේන්තුවේ මේ අයවැය පරද්දන්න බලාගෙන හිටියාට වැඩක් නෑ. මේ අයවැයේ විනාශකාරී යෝජනා පරදවන්න වෙන්නේ ජනතාව සටන් කරලා. ජනතා සටනින් ඇතැම් යෝජනා ආපස්සට හරවලා තිබෙනවා. ඒත් මේ ප්‍රතිපත්තිය තිබෙන තුරු මේ ප්‍රශ්නය එනවා. ඒ නිසා නව ලිබරල් ප්‍රතිපත්තියට එරෙහිව මේ විරෝධය පෙළගැස්විය යුතුයි.
ආණ්ඩුව පොරොන්දු වුයේ පොහොසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙන සරදියෙල් පන්නයේ අයවැයක්. අපි වාමාංශිකයෝ විදියට සරදියෙල් පන්නය විශ්වාස කරන්නේ නෑ. අපි පෙනී සිටින්නේ නිෂ්පාදනයට සම්බන්ධ වන ජනතාවට ඒ නිෂ්පාදනයෙන් සාධාරණ කොටසක් හිමි කර දීම වෙනුවෙන්. පොහොසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙනවා කිව්වේ ආණ්ඩුව. දැන් කරලා තියෙන්නේ ඒකද? මේ අයවැය ලේඛනය බැලුවාම පෙනෙනවා සරදියෙල්ගේ හැටි. ඉහල ආදායම්ලාභීන්ගෙන් අය කරන ආදායම් බදු 2015 වසරේදී රුපියල් බිලියන 249යි. ඒක 2016දී බිලියන 233 දක්වා අඩු කරලා. පොහොසතුන්ගෙන් ගන්න බදු ප්‍රමාණය සමස්ත බදු වලින් 19.4% සිට 14.8% දක්වා අඩු කරලා. ඔන්න පොහොසතුන්ගෙන් ගන්න හැටි. බලමු දුප්පතුන්ට දෙන හැටි. සාමාන්‍ය ජනතාව භාණ්ඩ හා සේවා සඳහා ගෙවන බදු රුපියල් බිලියන 767 සිට 2016දී බිලියන 993 දක්වා වැඩි වෙලා. මේ තියෙන්නේ සරදියෙල් අයවැයක් නෙවෙයි, දුප්පතුන්ගෙන් උදුරාගෙන පොහොසතුන්ට දෙන අයවැයක්. මේ ඇත්ත වහන්න භාණ්ඩ වර්ග 11ක මිල අඩු කරලා. අයවැය ලේඛනය කියනවා එහෙම මිල අඩු කරන්න ගියේ බිලියන 3යි කියලා. අපෙන් බිලියන 993ක් උදුරාගෙන 3ක් ආපහු දීලා. බදු මිල අඩු කරන්න බිලියන 3ක් වැය කරද්දී දුරකථන බිල වැඩිකිරීම හරහා පමණක් බිලියන 9ක් හොයනවා. මේ අයවැය සරදියෙල්ගේ අයවැයක් නෙවෙයි, මූල්‍ය ජාවාරම්කරුවන්ට ආර්ථිකය විවෘත කරන ජෝර්ජ් සෝරෝස් පන්නයේ අයවැයක්. 1997දී අග්නිදිග ආසියානු රටවල් දවසක් ඇතුලත අවපාතයකට ගොදුරු කල මූල්‍ය ජාවාරම්කරුවා ජෝර්ජ් සෝරොස් තමයි දැන් අගමැතිවරයාගේ න්‍යායාචාර්ය. ලංකාවේ ආර්ථික සමුළුවකට සෝරෝස් ගෙන්වනවා කියලා පාර්ලිමේන්තුවේදී උජාරුවෙන් කිව්වා. සමහර රටවලට මිනිහට ඇතුළු වෙන්න වත් දෙන්නේ නෑ.
අපෙන් බදු හරහා කොල්ල කන බිලියන 993 වියදම් කරන්නේ මොනවටද? වැඩිපුරම වියදම් කරන්නේ අපට ගහන්න, මර්ධනය කරන්න.2016 වසර සඳහා ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 306ක් වෙන් කරලා. ඒක තමයි වැඩිම මුදල් වෙන් කිරීම. මේ අවුරුද්දට තිබුනේ බිලියන 294යි. ඒක 306ට වැඩි කරලා. මීට අමතරව පොලීසියේ වියදම් වැඩි කරලා. අපෙන් සල්ලි අරන් අපටම ගහනවා. ගමේ මේකට කියන්නේ මගේ අරක්කු මටම ගහනවා කියලා. ගහන්න වෙන් කරන මුදල් වැඩි කරලා අධ්‍යාපනයට සෞඛ්‍ය සේවයට පොදු ප්‍රවාහනයට මොකද කරලා තියෙන්නේ? සෞඛ්‍ය අමාත්‍යංශයට බිලියන 174ක් වෙන් කරලා කියලා කියනවා. ඒක බොරුවක්. ඒකෙන් බිලියන 17ක්ම රෝහල් වල ඉඩම්, ගොඩනැගිලි කුලියට ගත්තානම් වැය වන මුදල. දැන් කුලී ගෙවන්නේ නෑනේ. මේවා හැම එකක්ම රාජ්‍ය දේපල. කුලී ගෙවන්නේ නැතිව කුලිය වියදමක් ලෙස පෙන්වලා. මේක වංචාවක්. බොහෝ ප්‍රධාන රෝහල් තියෙන්නේ නගර මැද. ඉඩම් වටිනාකම වැඩි තැන්වල. ඒ නිසා ලොකු ගානක් සෞඛ්‍ය වියදම ලෙස වන්චාකාරීව එකතු කරලා. සෞඛ්‍ය සේවයේ ඇත්ත ප්‍රතිපාදන බිලියන 157යි. මේ අවුරුද්දට වඩා වැඩි කරලා වගේ පෙනුනාට ඒ ඔක්කොම පුනරාවර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් 2015දී බිලියන 39 සිට 2016දී බිලියන 36 දක්වා අඩු කරලා. අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් 5.41%දක්වා වැඩි කලා කියලා තවත් වංචාවක් කළා. අධ්‍යාපනයට බිලියන 185ක් වෙන් කළා කීවාට එකෙන් බිලියන 121ක්ම පාසල් වල ඉඩම් සහ ගොඩනැගිලි කුලියට ගත්තානම් යන වියදම. ඒවාට වියදම් කරන්නේ නෑනේ. අධ්‍යාපනයට ඇත්තටම කල වියදම බිලියන 64යි. 2015දී ඒක බිලියන 62යි. මේ බිලියන දෙකත් අධ්‍යාපනයට කල වැඩිවීමක් නෙවෙයි. වෙනදා සංස්කෘතික අමාත්‍යංශයට අයත්ව තිබු ආයතන 9ක් දැන් අධ්‍යාපන අමාත්‍යංශයට එකතු කරලා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය, ජාතික කලා මණ්ඩලය, රැඟුම් පාලක මණ්ඩලය වගේ ආයතන වල වියදමත් එක්කමයි මේ ගාන වෙන් කරලා තියෙන්නේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට විතරක් ගත්තත් බිලියනයක් වෙන් කර තිබෙනවා. ඇත්තටම කරලා තියෙන්නේ අධ්‍යාපනයට මුදල් කපන එක. උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යංශයට වෙන් කල මුදල බිලියන 230 සිට 170ට අඩු කරලා. ඒකෙත් වැඩි කොටස මහාමාර්ග හදන්න. උසස් අධ්‍යාපනයට සොච්චමයි. පොදු ප්‍රවාහනයට වෙන් කල මුදල බිලියන 79 සිට 59ට 25%කින් අඩු කරලා. මේ අයවැයට විරුද්ධ වන අයත් මේ ගැන කතා කරන්නේ නෑ. ඔවුන්ට මේවා ප්‍රශ්න නෙවෙයි. වාහන මිල වැඩිවීම ගැන කතා කරනවා, පොදු ප්‍රවාහනයේ ප්‍රතිපාදන කැපීම ගැන කතා කරන්නේ නෑ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු ප්‍රවාහනයට ප්‍රතිපාදන කපලා අපෙන් ගන්න මුදල් වියදම් කරන්නේ අපට ගහන්න.
මේ අයවැය පරදවන්න ඕන. ඒක පාර්ලිමේන්තුවේ කරන්න බෑ. පාර්ලිමේන්තුවේ හැම දෙනාම මේ අයවැය පදනම් වුන නව ලිබරල් ප්‍රතිපත්තියට එකගයි. අයවැයට පක්ෂ වුන අය වගේම විරුද්ධ වූ අයත් එකගයි. විරුද්ධ වූ ඒකාබද්ධ විපක්ෂය ලස පෙනී සිටින සන්ධානයේ කොටස් බලමු. ඔවුන් පසුගිය කාලයේ සන්ධාන ආණ්ඩුව තියෙන කොට මේ ප්‍රතිපත්තියටම ඇත ඔසවපු අය. මේ අයවැයේ ඒ ගොල්ලන්ට තියෙන්නේ පොඩි පොඩි තාක්ෂණික ගැටළු. ජනතා විමුක්ති පෙරමුණත් එහෙමයි. දින සියය යටතේ ආපු මේ ප්‍රතිපත්තිය මතම පදනම් වූ අයවැයට ඒ අය පක්ෂ වුනා. දැන් මේකට විරුද්ධයි. ඒකත් ප්‍රතිපත්තිමය විරෝධයක් නෙවෙයි. පොඩි පොඩි තාක්ෂණික ප්‍රශ්න විසඳුවොත් මේ ඔක්කොම දෙසැම්බර් 19වැනිදාට මේකට පක්ෂව ඡන්දය දෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්න එපා. මේ අයවැය එනකොටමත් අපි කිව්වේ “කොල්ලකාරී අයවැය ජන සටනින් පරදවමු” කියලා. දැන් කියන්න තියෙන්නෙත් ඒකමයි. ජනතාව සංවිධානය වෙලා, සටන් කරලා මේ විනාශකාරී යෝජනා පැරදවිය යුතුයි. වාමාංශිකයන් ලෙස අපි ජනතාවගේ ඒ අරගල සමග සිටිනවා, ඒ අරගල ආරක්ෂා කරනවා, ඒ අරගල ජාතිවාදීන්ට කොල්ල කන්න දෙන්නේ නෑ, ඒ අරගල වඩා ඉහල දේශපාලන මට්ටමකට වර්ධනය කරන්න මැදිහත් වෙනවා.”
එම මාධ්‍ය හමුවේ හඩ පටය