කඩුවෙල, නවගමුව දකුණු රණාලේ පිහිටි ‘වීඒ ඇපරල්’ ආයතනයේ කලමනාකාරිත්වය විසින් සේවකයනගේ වැටුප් නොගෙවීම නිසා ඔවුහු කම්හල් භූමිය අත්පත් කරගෙන එහි නවාතැන් ගත්හ. ඈත ගම්බිම්වල සිටවිත් රැකියා කරන කම්කරුවන් සිටින මෙම ඇඟලූම් කර්මාන්ත ශාලාව එක්සත් රාජධානිය සඳහා ඇඟළුම් අපනයනය කරන්නකි. දැනට මාසයකට අධික කාලයක් තිස්සේ එහි සේවය කරන කම්කරුවන් විසින් අත්පත් කරගෙන සිටී.
එසේ අත්පත් කරගන්නට හේතු වී ඇත්තේ අගෝස්තු මාසයේ සිට ඔවුන්ට ලැබිය යුතු වැටුප් නොගෙවීමය. මෙම ආයතනයේ සේවකයන්ට සාමාන්‍යයෙන් වැටුප් ලැබෙන්නේ සෑම මසකම 10 වෙනිදාය. නමුත් අගෝස්තු 10 වැටුප් ලබා දීම සිදු නොවන බවත් එය අගෝස්තු 13 ලබා දෙන බවත් එහි කම්කරුවන්ට දන්වා ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන් ඉතා ඈත පළාත්වලින් පැමිණ නේවාසිකව සිටින නිසා තමන්ට වැටුප් අවශ්‍ය බවයි. පසුව ආයතනයේ නිලධාරිනියක් නේවාසික ස්ථානවලට ගොස් නේවාසිකාගාර හිමිකරුවන්ට චෙක් පත් ලබා දී ඇත. නමුත් සැප්තැම්බර්, ඔක්තෝබර් වන විටත් කම්කරුවන්ට වැටුප් නොලැබුණි.
ඔක්තෝබර් 16 වැනිදා කම්කරුවන් විසින් අදාළ කර්මාන්ත ශාලාවට පිවිස එහි ලැගුම් ගැනීමට තීරණය කළේ හිිමිකරුවන්ගෙන් කෙසේ හෝ තමන්ගේ වැටුප් ලබා ගැනීමට ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙසය. පසුව 17 වැනිදා උදේ නවගමුව පොලිසියෙන් පැමිණි පොලිස් නිලධාරීන් 18 වැනිදා උදේ කම්කරුවන්ට පොලිසියට පැමිණෙන ලෙසත් එහිදී වැටුප් වෙනුවට අත්තිකාරමක් දෙන බවත් පවසා ඇත. නමුත් පසුදා පොලිසියට ගිය කම්කරුවන්ට විසඳුමක් නොලැබූ තැන පොලිසිය පවසා ඇත්තේ ඔවුන්ට කරන්න දෙයක් නැති බවයි.
ඒ අනුව නැවත කර්මාන්තශාලාවට පැමිණි කම්කරුවන් 18 වැනිදා ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කර ඇත. ඉන් පසු නැවතත් 19 වැනිදා පොලිසියට පැමිණෙන ලෙසත් දන්වා තිබුණි. එදින උදේ 8.00ට පොලිසියට පැමිණෙන ලෙස දැන්වුවද ආයතනයේ නිලධාරිනිය එහි පැමිණ ඇත්තේ සවස දෙකත් පසුවීය. මෙහිදී සිදුවී ඇත්තේ පුදුම සහගත සිදුවීමකි. එහිදී ආයතනයේ නිලධාරිනිය සමඟ පැමිණි නීතීඥයෙක් එකිනෙක වෙන් කර තිබූ කම්කරුවන්ගේ පඩි පත් රැුගෙන පලා යන්නේ පොලිසියත් බලා සිටියදීය. මෙහිදී ඔහු අල්ලා ගන්නා ලෙස කම්කරුවන් ඉල්ලා සිටි විට නවගමුව පොලිසියෙන් පවසා ඇත්තේ එය තමන්ගේ වැඩක් බවත් කම්කරුවන්ට එය අදාළ නොවන බවත්ය. මේ අතර නිලධාරිනිය උසාවියට ඉදිරිපත් කර පසුව ඔක්තෝබර් 28 දක්වා බන්ධනාගාරගත කර ඇත. ඒ අනුව ඔක්තෝබර් 28 නඩුව අධිකරණයේ විභාග වන අතර සේවක වැටුප් ලබා දෙන පොරොන්දුව පිට නිලධාරිනියට ඇප ලබා දී ඇත. නඩුව අපේ‍්‍රල් 27 තෙක් කල් දමා ඇත.
නමුත් අධිකරණයේදී වූ පොරොන්දු අනුව නොවැම්බර් 11 වැනිදා වන විටවත් කම්කරුවන්ට වැටුප් ලැබී නොමැති අතර ඔවුන් තවමත් ආයතනය තුළ ලැගුම් ගෙන ඇත. මෙහි ඇති බරපතළම තත්වය නම් ආයතනයේ වැඩ කරන කම්කරුවන් අඩුම තරමේ ආයතනයේ අයිතිකාරයා කව්රුන්ද යන්න පවා නොදැනීමයි. මේ අතර පසුගිය නොවැම්බර් 10 වැනිදා ආයතනයට පැමිණි නානායක්කාර නම් අයෙක් තමන් අයතනයේ අයිතිකාරයා බවත් තමන් ආයතනය කෝටි 180කට යූනියන් බැංකුවට උකස් කර ඇති බවත් වහාම ආයතනයෙන් ඉවත් වන ලෙසත් පවසා කම්කරුවන්ට තර්ජනය කර ඇත. කෙසේ නමුත් කම්කරුවන් පවසන්නේ තමන්ගේ ඉල්ලීම් දිනාගෙන මිස අයතනයෙන් ඉවත් නොවන බවයි.


