බදු සංශෝධනවලට එරෙහි පෙ.ස.ප ගාල්ලේ විරෝධය

galle1

ධනපතියන්ට බදු සහන ලබා දී වැඩකරන ජනතාව මත බදු බර පැටවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (11) ගාල්ල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ආණ්ඩුව අලුතින් කරන ලද බදු සංශෝධන වලට එහිදී විරෝධය එල්ල විය.

gall2

මෙම උද්ඝෝෂණයට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, ගාල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අජිත් කුමාර හා පක්ෂයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගීවිය.  සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක්‌ ඇති කරන බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි වත්මන් ආණ්‌ඩුව අද සාමාන්‍ය ජනතාවට අසීමිත ලෙස බදු පටවමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය එහිදී ප්‍රකාශ කළේය. එහිදී ඔවුන් මෙසේ ප්‍රකාශ කළේය.

‘ධනපති පන්තියෙන් බදු අයකරගෙන සාමාන්‍ය පන්තියෙන් බදු අය කිරීම නැවැත්වීමේ සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක්‌ ගෙනෙන බව කියමින් යහපාලන ආණ්‌ඩුව ජනතාව මුලා කළා. අද ධනපති පන්තියට බදුවලින් නිදහස්‌ කර සාමාන්‍ය පන්තියෙන් අය කරනවා. පොහොසත් අයගෙන් සියයට 60 ක්‌ ද, සාමාන්‍ය ජනතාවගෙන් සියයට 40 ක්‌ ද වශයෙන් බදු අය කරනවා කිව්වා. නමුත් දැනටමත් පොහොසතුන්ගෙන් සියයට 20ක් සහ සාමාන්‍ය ජනතාවගෙන් සියයට 80ක් බදු අය කරනවා. වැට් බදු වැඩි කිරීම නිසා මේ අසාධාරණය තවත් පුළුල් වෙනවා.අද සියයට 8ක් සහ 12.5 ක්‌ව පැවති බද්ද සියයට 15 ක්‌ දක්‌වා වැඩි කරලා. එම නිසා ජීවන බර වැඩි වෙනවා.සාමාන්‍ය ජනතාවට බහුලව භාවිතා කළ සන්නිවේදන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල බදු වැඩි කරලා.
අද ජනතාවගේ වියදම ඉහළ ගිහින්. ජනතාව ජීවත් වෙන්නේ අසීරු තත්ත්වයකින්. එජාප ආණ්‌ඩුවක්‌ ආවාම සාක්‌කු පිරෙනවා කිව්වා. දැන් වෙලා තිබෙන්නේ හිස්වූ සාක්‌කු තවත් හිස්‌වීමක්‌. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කිව්වා මන්දිර බද්දක්‌ සහ සුපිරි වාසි බද්දක්‌ අය කරනවා කියලා. කාගෙන්ද ඒ බදු අයකරගෙන තිබෙන්නෙ? අඩුම තරමේ ඒ සඳහා අවශ්‍ය පනතක්‌වත් මෙතෙක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ.මේ ආණ්‌ඩුවේ තිබෙන්නෙ බොරු ප්‍රචාර පමණයි. යහපාලන ආණ්‌ඩුවේ ජනතා විරෝධී මෙම ආර්ථික ප්‍රතිපත්ති දිගින් දිගටම ගෙනයන්නේ නම් ජනතාව ඒකරාශී කරගෙන දිපව්‍යාප්තව උද්ඝෝෂණ සංවිධානය කරනවා.’

gall3

gall4

ගාල්ල

Leave a Reply