ලලිත් – කුහන් ඉන්න බව කීවේ ආරක්ෂක අමාත්‍යංශ තොරතුරු අනුව – කෙහෙළිය රඹුක්වැල්ල

lalith kuhan

ජන අරගල ව්‍යාපරයේ ක‍්‍රියාකරුවන් වූ ලලිත් කුමාර් වීරජාජ් හා කුහන් මුරුගානන්දන් අතුරුදන් කිරීම පිළිබඳ යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අද කැඳවීය. එහිදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුණි.

මෙහිදී නීතිඥයන් විසින් කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප‍්‍රශ්න කර සිටියේ ලලිත් – කුගන් අතුරුදන් වීම පිළිබඳ මාධ්‍යවේදීන් විසින් මාධ්‍ය හමුවකදී ප‍්‍රශ්න කළ විට, ‘නීතිවිරෝධී රඳවාගැනීමක් සිදුවී නැති බවත් අතුරුදන් වීමක් සිදුවී නැති බවත් ඔවුන් ඉන්නා බවත්’ කීවේ කෙසේද? යනුවෙනි. මීට පිළිතුරු දුන් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ තමන් එසේ ප‍්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණු තොරතුරු අනුව බවයි. මෙහිදී නීතීඥයන් නැවත ප‍්‍රශ්න කර සිටියේ 2011 දෙසැම්බර් මස 15 දා වන විට ආරක්ෂක අංශ භාරයේ ඔවුන් හිටි බවට සහතිකයක් තිබේද යන්නය. එවිට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා කියා සිටියේ, ඒ වෙද්දී සිටි බවට සහතික කර තිබූ බවත් ඉන් පසු සිදුවූ දෙයක් තමන් නොදන්නා බවත්ය.

මෙකී ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් නඩුව අගෝස්තු 12 වෙනිදා දක්වා කල් දමන ලද අතර එදිනට මේ පිළිබඳ වැඩිදුර විමසීමට අච්චුවේලි පොලිසියේ නිලධාරීන් කැඳවීමට නියෝග කරන ලදී.

ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමට අදාලව රජයේ ආරක්ෂක අංශවලට දිගින් දිගටම ඉදිරිපත් වූ චෝදනාව මේ අනුව තහවුරු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය. මේ පිළිබඳ මාධ්‍ය දැණුවත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද 13 දහවල් එම පක්ෂයේ යාපනය කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විනි.