නොනිදන රාත‍්‍රිය අවසන් – ප‍්‍රංශ කම්කරුවෝ තවමත් සටනේ!

මේ ලියන මොහොතේ ප‍්‍රංශයේ කම්කරුවන් සිය වෘත්තිය සමිතිවල නායකත්වයෙන් එක් දින වැඩ වර්ජනයක යෙදී සිටී. ඊට පෙර සතියක පමණ කාලයක් ඉන්ධන පිරිපහදු කම්කරුවන් විසින් පිරිපහදු අත්පත් කරගෙන එහි ඇතුළුවීම පොලිසියට අවහිර කිරීමෙන් පසුව ප‍්‍රංශය බරපතළ ඉන්ධන හිගයකට මුහුණ දෙමින් සිටී. ප‍්‍රංශය පුරා සටන්කාමී රළවේගයක් ලෙස පැතිර යන කම්කරුවන්ගේ හා පොදුවේ ජනතා ක‍්‍රියාකාරිත්වයේ උණුසුම ලෝකය පුරාම ප‍්‍රගතිශීලී බලවේගවලට අපේක්ෂා ඇති කරමින් තිබේ.

මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූයේ ප‍්‍රංශයේ කම්කරු නීතියක් හදිසි නීතිය යොදාගෙන ක‍්‍රියාවට නැගීම හේතුවෙනි. කම්කරු ඇමතිනී මිරියම් එල් කොම්රි විසින් පසුගිය පෙබරවාරියේදී හඳුන්වා දුන් මෙම පනත කම්කරු ඇමතිනියගේ නමින් ‘එල් කොම්රි පනත’ ලෙස හඳුන්වමින් ප‍්‍රංශ වෘත්තිය සමිති සටන් මගට පිවිසුණේ මාර්තු මාසයේදීය. ප‍්‍රංශ කම්කරුවන්ගේ වැඩ සතිය (සතියකට වැඩකරන පැය ගණන) පැය 36ක්ව තිබුණි. එහෙත් මෙම පනත තුලින් වැඩ සතිය පැය 46 දක්වා වැඩි කෙරුණේ අතිකාල හෝ වෙනත් ගෙවීම් ඉහළ දැමීමකින් තොරවය. දෛනික වැඩ කාලසීමාව පැය 12 දක්වා ඉහළ දමන්නට මෙමගින් සමාගම් පාලකයන්ට ඉඩ කඩ විවර කෙරිනි.

තවද මෙම නීතිය යටතේ වැඩකරන ජනතාව ශ‍්‍රමසූරාකෑමෙන් ආරක්ෂා කරන නීතිවලින් පැන යන්නට හාම්පුතුන්ට අවස්ථාව හිමි වේ. එසේම හාම්පුතුන් විසින් අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ, වැඩ තහනම් කළ හෝ වෙනත් දණ්ඩනයකට යටත් කර අසාධාරණයකට මුහුණ දෙන කම්කරුවන්ට යුක්තිය ඉටු කරගන්නට ඇති අවස්ථා අවම කිරීම ‘එල් කොම්රි’ විසින් සිදුකරණ ලදී. ශ‍්‍රමිකයාගේ අයිතිවාසිකම් වෙනුවට හාම්පුතාගේ ආරක්ෂාව සලසන මෙම කම්කරු පනත නිසා දශක ගණන් කම්කරු සටන්වලින් දිනාගත් කම්කරු අයිතිවාසිකම් නිෂ්ඵල වන්නට නියමිතය. එසේම වැඩ සතිය යන අදහස පවා නිෂ්ඵල වන්නට නියමිතය.

මෙම තත්වය වටහා ගනිමින් ප‍්‍රංශ වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් හා වෙනත් අයිතිවාසිකම් සඳහා සටන් කරන කණ්ඩායම් විරෝධතා ආරම්භ කළහ. මාර්තු 9 වැනිදා ජාතික විරෝධතා දිනයක් නම් කරනු ලැබූ අතර ලක්ෂ 5ක් පමණ විරෝධතා දක්වමින් වීදි බැස්සාහ. ඉන්පසුව ශිෂ්‍ය හා වෘත්තිය ක‍්‍රියාකාරින් විසින් අරගලයේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ සංවාදයක නිරත වූහ. ප‍්‍රගතිශීලී සංවිධාන නියෝජිතයන් හා විද්වතුන් ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය හා සම්බන්ධ වූහ. මාර්තු 31වැනිදා මෙම පනතට විරෝධය පළ කරනු පිනිස පැරීස්යේ ජනරජ චතුරශ‍්‍රය වෙත ඒකරාශි වූ ශිෂ්‍ය, තරුණ, සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයෝ එදින රාත‍්‍රියේ සිට චතුරශ‍්‍රය අත්පත් කරගැනීමේ විරෝධතාවයකට පිවිසුණහ. ‘නොනිදන රාත‍්‍රිය’ එසේත් නැතිනම් ‘රැය පුරා අවදියෙන්’ යන තේරුම ඇති මෙම විරෝධතා ව්‍යාපාරය එක රැුයෙන් ප‍්‍රංශය පුරා සටන්කාමී කම්කරුවන් තරුණ සටන්කාමීන් නගරවල ඒකරාශිකරන රළවේගයක් බවට පත් විය. පළමු රාත‍්‍රියේ ජනරජ චතුරශ‍්‍රයට එක් වූ 250ක් පමණ ක‍්‍රියාකාරිකයන් අධික ශීතය මැද රාත‍්‍රිය ගෙවා දමමින් සෙසු අරගලකරුවන් ආකර්ෂණය කරගත් අතර පසුදිනම ප‍්‍රංශය පුරා විරෝධතා හටගත්තේය. මෙම විරෝධතා ව්‍යාපාරය පුරාම සිටියේ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ රැුකියා විරහිතයන්ගෙන් සමන්විත තරුණ ජනයාය. එහෙත් වෘත්තිය සමිති හෝ දේශපාලන පක්ෂවලට මෙහි කාර්යභාරයක් හිමි නොවිනි. ඒ වෙනුවට විරෝධතාකරුවන් විසින්ම සකස් කරගත් විධික‍්‍රමවලින් ඒ ඒ අවස්ථාවේ විරෝධතා සංවිධානය කෙරිණි. සමාජ ජාල වෙබ් අඩවි ආශ‍්‍රිතව සන්නිවේදන ක‍්‍රියාදාමයකින් හා ස්වේච්ඡුා ක‍්‍රියාදාමයන් ඇසුරින් ‘නොනිදන රාත‍්‍රිය’ සටන්කාමී ව්‍යාපාරය සමන්විත විය. ‘තිරස්වාදය‘ ලෙස හඳුන්වන ‘සමානයන්ගේ ක‍්‍රියාකාරිත්වයකින්’ මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය විය. එහෙත් ඇත්ත වශයෙන්ම එසේ ක‍්‍රියාත්මකවීම පිණිස නීතිරීති රැුසක් යොදාගන්නට ‘නොනිදන රාත‍්‍රිය’ ක‍්‍රියාකාරීන්ට සිදු විය. අපේ‍්‍රල් මාසය තුළ හටගත් විරෝධතාවලට දස දහස් ගණනින් ශිෂ්‍ය, කම්කරු, සහභාගිත්වයක් අරගලකාරිත්වයේ උද්‍යෝගයක් ඇතුළත් විය.

මෙවැනි සටන් රැල්ලක් ප‍්‍රංශයේ මින් පෙර දක්නට ලැබුණේ විශ‍්‍රාමික සහන ක‍්‍රම කප්පාදුවට එරෙහිව 2010 හටගත් අරගලය තුළය. විරෝධතා දින නම් කරමින් වෘත්තිය සමිත.ි ව්‍යාපාරය කැඳවූ මෙවැනි විරෝධතා නිසා ප‍්‍රංශය අඩපණ කෙරිනි. මිලියන 3-4 වැනි ජනකායක් එවැනි විරෝධතාවන්ට එක්ව සිටි බව ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. පසුගිය අපේ‍්‍රල් හටගත් අරගලකාරිත්වය දැන් අවසන්ව ඇතත්

ජනාධිපති ප‍්‍රංශුවා හොලන්ඬේගේ සමාජවාදී ආණ්ඩුව මෙම පනත ගෙන එමින් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් නොතකා අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ යෝජනා ක‍්‍රියාත්මක කරන්නට සූදානම් වෙද්දී ඔහුගේ සමාජවාදී පක්ෂයේ සහ ආණ්ඩුවේ බොහෝ මන්ත‍්‍රීවරු පනතට විරුද්ධව අදහස් දැක්වූහ. එහෙත් දක්ෂිණාංෂික පක්ෂ එයට පක්ෂපාතිත්වය පළ කරන ලදී. අපේ‍්‍රල් මසදී පනත ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කිරිමටත් මැයි මසදී සෙනෙට් සභාවේ සම්මත කරන්නටත් හොලන්ඬේ පාලනය තින්දු කර තිබිණි.

මෙම පනත බලහත්කාරයෙන් ක‍්‍රියාත්මක කරමින් හොලන්ඬේ ජනාධිපතිවරයා විශාල අවදානමකට මුහුණ දී සිටී. ඔහුගේ ජනප‍්‍රියත්වය 15%කින් පහළ බැස ඇති බව නවතම සමීක්ෂණ වාර්තා දක්වයි. 2007 මැයි මස හොලන්ඬේ ජනාධිපතිධුරයට පත්ව කෙටිකාලයකින් හටගත් එක්සත් ජනපද ආර්ථික අර්බුදය ඒ හා සමගම ප‍්‍රංශය ඇතුළු යුරෝපාකරය සිසාරා හමා ගියේය.

ඔහුගේ පත්වන අවස්ථාවේ 9%ක්ව පැවැති විරැුකියා ප‍්‍රතිශතය දැන් 11%ක් පමණ වන බව ගණන් බලා ඇත. තරුණ පරම්පරාව තුළ විරැුකියා තත්වය 25%ක් බවට පත්ව තිබේ. මෙවැනි අවාසිදායක පසුබිමක කප්පාදු නීති හඳුන්වා දීමට බලකරනු ලැබ ඇත්තේ නවලිබරල් ධනවාදයේ විසඳුම් වන්නේ රාජ්‍ය විසින් මුහුණ දෙන අර්බුදයට පිළියම් සෙවීමට තවතවත් ජනතාවගේ වරප‍්‍රසාද කප්පාදු කරමින් ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ 2017 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නටදැයි කුකුසක් පවා මතුව තිබේ.

විරෝධතා පැනනැගීමත් සමග පනතට පක්ෂපාතී වූ සමාජවාදී පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ද දුෂ්කර අඩියකට ඇද දමා තිබිණි. එසේම මුලූමහත් ලෝකය බලා සිටි මෙම විරෝධතා නිසා ප‍්‍රංශ දේශපාලනයේ ධ‍්‍රැවීකරණයක් සිදුවිය. වාමාංශය මේ දෙස ලිහිල් හා අපේක්ෂාසහගත ඇසකින් බලන අතර දක්ෂිණාංශය මෙම විරෝධතා හැඳින්වූයේ ප‍්‍රංශ ආර්ථිකය අඩපණ කිීමේ ව්‍යාපාරයක් ලෙසිනි. ජාතික පෙරමුණ නමැති දක්ෂිණාංහික පක්ෂය ‘නොනිදන රාත‍්‍රිය’ මර්දනය කළ යුතු බවට නිවේදනයක් පවා නිකුත් කර තිබිණි. එක්තරා කොන්සර්වටිව් බුද්ධිමතකු විසින් මෙම විරෝධතා පසුපස ෆැසිස්ට්වාදීන් සිටින බවටද අවලාද නගා තිබිණි. මෙසේ විරෝධය පිළිබඳ කලබලවූවන් අතර හිටපු ජනපති නිකලස් සාර්කොසි ද විය. ඔහු මෙම විරෝධතාකරුවන් මොළය මියගියවුන්, මැරයන් ලෙස හඳුන්වා දුන් ඔහු ප‍්‍රංශ රජයේ ආධිපත්‍යය අවතක්සේරුවට ලක්කරන ලැව්ගින්නක් ලෙසද විරෝධතා ව්‍යාපාරයට ප‍්‍රසිද්ධියේ අවමන් කරන ලදී.

මර්දනය දියත් විය. විරෝධතාකරුවන්ට බරපතළ ලෙස පහරදීම, කඳුළුගෑස් විදීම හා ගම්මිරිස් විදීම සිදු විය. විශේෂයෙන් විරෝධයේ යෙදෙන පැරිසියේ උසස් පාසලක ශිෂ්‍යයන්ට කැරලි මර්දන බලකා සෙබලූන් විසින් අමානුෂික ලෙස පහරදෙන දර්ශන ලෝකය පුරා දැඩි බලපෑමක් ඇති කරවීය. ප‍්‍රංශය තුළ විරෝධතා රැුල්ල විසින් ඇතිකළ බලපෑම කොතරම්ද යත් ‘එල් කොම්රි’ පනත පිළිබඳ ජනමත සමීක්ෂණයට අදහස් දැක්වූ 75%ක් ඊට විරෝධය දැක්වූහ. එපමණක් නොව සමීක්ෂණයට අදහස් දැක්වූ 50%ක් ‘නොනිදන රාත‍්‍රිය’ විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව සිදුවනවාට පක්ෂපාති විය. මෙම විරෝධතාව බොහෝ දෙනා විසින් සම කරණු ලැබුවේ එක්සත් ජනපදයේදී ‘වෝල්වීදිය අත්පත් කරගැනීම’, ස්පාඤ්ඤයේ ‘ඉන්ඩිග්නාඩොස්’ වැනි බලසම්පන්න විරෝධතා ක‍්‍රියාදාමයන්ටය.

අවසානයේ පනත සම්මත කිරීම වෙනුවට හදිසි නීති රෙගුලාසි යටතේ එය බලාත්මක කරන්නට ආණ්ඩුව තීරණය කළේය. 2015 නොවැම්බරයේ පැරීසියේ සිදුවූ අන්තවාදී ප‍්‍රහාරය හේතුවෙන් හදිසි නීතිය පනවා ඇති ප‍්‍රංශය තුළ එම නීතියේ ආවරණය ලබමින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් කප්පාදුකිරීමට ආණ්ඩුව සමත් විය. මෙම නීති සංශෝධනය අහෝසි කිරීම කෙසේ වෙතත් එහි යම් පසුබැසීමක් කරා ආණ්ඩුව තල්ලූ කරන්නට නොහැකිවීම පිළිබඳ වගකීම වෘත්තිය සමිති විසින් භාරගත යුතු බව කම්කරුවන්ගේ අදහසයි.

ඔවුහු සිය වෘත්තිය සමිති නායකත්වය දෙසට ඇගිල්ල දිගුකිරිමට පටන් ගෙන තිබේ. පසුගිය අපේ‍්‍රල් මසදී ප‍්‍රංශයේ වෘත්තිය සමිති බලයේ ප‍්‍රමුඛ සංවිධානය වන ක්‍ඨඔ හි වර්සේල්ස්හි පැවැති මහ සභා වාරයේදී නියෝජිතයන් සිය කාර්යභාරය පිළිබඳ සෑහීමකට පත් නොවී ස්වයංවිවේචනාත්මක සංවාදයක නිරත වූ බව වාර්තා විය. ඔවුන් මැයි 26 වැඩවර්ජනය සහ ජූනි 14 ජාතික විරෝධතා දිනය සඳහා එකඟ වූයේ ඒ අනුවය.

ප‍්‍රංශයේ ‘එල් කොම්රි’ පනතට එරෙහිව නැගුණු විරෝධතා සම්බන්ධව ලාංකීය සමාජයේ විශේෂයෙන් ප‍්‍රගතිශීලී බුද්ධිමතුන් අතර මහත් අපේක්ෂා සහගත මනෝභාවයක් ඇති කරන ලදී. එය එතරම්ම පුපුරා යන ජනතාවගේ සහභාගිත්වය අතින්ද අඩුවක් නැති විරෝධතා මාදිලියක් විය. කෙසේවෙතත් මෙහි තවත් වෙනසක් ඇති විය. එනම්, සියල්ලෝම අවධානය යොමු කළේ විරෝධතා දෙසය. ‘එල් කොම්රි’ පනත සම්බන්ධ විරෝධය ව්‍යාප්ත කරන්නට හෝ එය දේශපාලන අරගලයක් ලෙස පුළුල් කරන්නට ‘නොනිදන රාත‍්‍රිය’ නියමුවන් අසමත් විය.

රැඩිකල් විරෝධතා මාලාවක් පමණක් බවට පත්වූ එල් කොම්රි අරගලය බොහෝදෙනාගේ අපේක්ෂා දැල්වූ පරිදිම අපේක්ෂාභංගත්වයක් ඉතිරිකර අවසානය කරා ළඟා විය. එහෙත් එය හුදු පරාජයක් ලෙස සලකුණු කරන්නට ඉක්මන් වනවාට වඩා සටන්කාමී විරෝධයක පාඩම් වටහාගන්නට අප යොමු විය යුතුය.