මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගන්නා බවට ආණ්ඩුවේ ඇමතිවරුන් කරන මාධය ප්‍රකාශ සහ නෙවිල් ප්‍රනාන්දු විසින් එසේ පවරා දීමට දින ප්‍රසිද්ධ කිරිම බරපතළ කුමන්ත්රණයක පියවර බව හෙළිවෙමින් තිබේ.
සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින සෞඛ්‍ය ඇමතිවරයා සහ උසස් අධ්‍යාපන ඇමතිවරයා පසුගිය දිනවල ප්‍රකාශ කළේ සයිටම් ආයතනය අහෝසි නොකරන නමුත් රෝහල රජයට පවරා ගන්නා බවයි. ජූලි 15 වෙනිදා එම පවරාදීම සිදුකරන්නට නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලනාධිකාරිය තීරණය කොට ඇතැයි ප්‍රසිද්ධ කරන්නට පටන් ගෙන ඇත. පසුගිය දා තම රෝහල රජයට පවරාගැනීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට හිස නමමින් මෙම තීරණය ගත් බවට සයිටම් ආයතනයේ සහ රෝහලේ සභාපති ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු කියා සිටී. කෙසේවෙතත්, වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නිසා ජනතා විරෝධයට ලක්වූ සයිටම් ආයතනය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් (PPP) ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටී. ඒ නිසා නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගැනීම යනු ජනතා සුභසිද්ධියට කිසිසේත්ම අදාල නොවන PPP කුමන්ත්‍රණයක් බව සනාථ වේ.
කෙසේවෙතත් ඊයේ (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කිරීමට රාජපක්ෂ ආණ්ඩුව යටතේ ලංකා බැංකුවෙන් දුන් ණය මුදල වසර 10 ක් තුළ ගෙවා නිම කිරීමෙන් පසුව මෙම රෝහලේ අයිතිය මුළුමනින් රජය සතුවන බවයි. රජයට පවරාගන්නා රෝහලණෙය ගෙවන්නට සිදුවන්නේ රජයේ එනම් මහජන අරමුදල්වලිනි. ඒ අනුව සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින ඇමතිවරු දෙදෙනෙක් සයිටම් ව්‍යාපාරිකයා සමග එක්ව ප්‍රකාශ නිකුත් කරන්නේ වංචනික කුමන්ත්රණයක කොටස්කරුවන් ලෙස බව පැහැදිලිය.
රෝගීන් 600 ක් සඳහා නේවාසික පහසුකම් සහිත බව කියමින් නෙවිල් ප්‍රනාන්දු රෝහල 2013 වසරේ දී ස්ථාපිත කළද එයට ප්‍රතිකාර ගැනීමට රෝගීන් පැමිණියේ නැත. මහරගම සිට මාලබේ දක්වා ධාවනය වන බස්රථ පවා නෙවිල් ප්‍රනාන්දු රෝහල දක්වා ගමන් වාර දීර්ඝ කරමින් මෙම රෝහලට රෝගීන් කැදවා ගන්නට අසාර්ථක උත්සාහයන් ගන්නා ලදී. එහෙත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ආරම්භක අරමුණ වූ සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීමට තරම් ප්‍රමාණවත් නේවාසික රෝගීන් සංඛ්‍යාවක්වත් එම රෝහල වෙත යොමු වූයේ නැත. වෙනත් පෞද්ගලික රෝහල් සමග තරග කරන්නට නොහැකි නිසා අවම ගාස්තු ප්‍රමාන දක්වා අයකිරීම් පහත දැමුවද රෝගීන් පැමිනියේ නැත. මෙම බංකොලොත් තත්වය හමුවේ අර්බුදයට ගිය නෙවිල් ප්‍රනාන්දු අධික ලාභ උපදවන සයිටම් ආයතනය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන ‘ශික්ෂන‘ ලේබලය සහිත රෝහල පවා පවත්වාගෙන යා නොහැකි තත්වයට පත් විය.
පසුගිය කාලයේ මෙම රෝහලේ නාමපුරුවට යොදා ඇති ‘ශික්ෂන රෝහල“ යන ව්‍යාජ ලේබලයට රුසියානු මිත්‍රත්ව රෝහල යන්නද එකතු කරන ලදී. එසේ විවිධ අලංකාර යොදාගත්තද රෝහලේ රෝගින් ප්‍රමාණය වැඩිකරගැනීමට සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු අසමත් විය. සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු සයිටම් ආයතනයට එරෙහි වූ සියලු දෙනාට වෛරී සහගත ලෙස කතා කරමින් ඔවුන් සියලු දෙනා වරාය නගරයේ වැලිවලට යට කළ යුතු බව ප්‍රසිද්ධියේ කීවේ සිය ව්‍යාපාරික ව්‍යාපෘතිය වංචනික ලෙස ඉදිරියට ගෙන යාමට හරස් කැපූ නිසාය.