ග්‍රීසියේ සයිරිසා දෙකඩ වේ – ආණ්ඩුව විසිරුවා හරියි 

zyriza

අගෝස්තු 20 වැනිදා රූපවාහිනී නාලිකා හරහා ජාතිය ඇමැතූ ග්‍රීසියේ අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඉක්මන් මහමැතිවරණයක් කැඳවීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.

මෙම මැතිවරණය සැප්තැම්බර් 20දින පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි. යුරෝපා සංගමය විසින් ග්‍රීසියට හදිසි ණය ආධාර ලබාදීම සඳහා කොන්දේසි ලෙස පනවනු ලැබූ කප්පාදු පිළිවෙත් වලට සිප්‍රාස් අගෝස්තු 13දින එකඟවීම බොහෝ දෙනා විස්තර කරනුයේ ග්‍රීක ජනතාවගේ අභිලාෂයන් පාවා දී අධිරාජ්‍යවාදීන් ඉදිරිපිට දණ ගැසීමක් ලෙසය.

පසුගිය ජනවාරියේ මහමැතිවරණයෙන් සයිරිසා ජයගනු ලැබුවේ මෙම කප්පාදු කොන්දේසි වලට එකඟ නොවීමේ පොරොන්දුව මතය. පසුව පවත්වනු ලැබූ ජනමත විචාරනයකදීද යුරෝපා සංගමයේ කොන්දේසි පිලි නොපදින ලෙස 61%ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. නමුත් වැඩී එන ණය අර්බුදය හමුවේ එම කොන්දේසි වලට එකඟ වීමට සයිරිසා ආණ්ඩුව තීරණය කළේය. මෙම කප්පාදු පිළිවෙත් සක්‍රිය වීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ සිටය. ඊට පෙර මැතිවරණය පැවැත්වෙනු ඇත.

ආණ්ඩුව විසිරුවා හැරීමට හේතුව ලෙස සිප්‍රාස් පවසන්නේ තිබෙන පාර්ලිමේන්තුව අධිරාජ්‍ය විරෝධී තීරණ ගැනීමට අවශ්‍ය බහුතර බලය ගොඩ නැගීමට මෙන්ම ජාතික සහයෝගීතා ආණ්ඩුවක් ගොඩ නැගීමටද අසමත් වීමයි. පසුගිය මැතිවරණයෙන් සයිරිසා පක්ෂය වැඩිම ආසන ගණන දිනා ගත්තද බහුතරය ලබා ගැනීමට අසමත්වූ බැවින් ආණ්ඩුව ගොඩ නගනු ලැබුවේ දක්ෂිනාංශික පක්ෂයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේද සහය ඇතිවය.

මේ අතර දිගින් දිගටම සයිරිසාව තුළ පැවැති මතභේද පුපුරා යමින් “වාම වේදිකාව” මැතිවරණයේදී වෙනම කටයුතු කිරීමේ ලකුණු පෙනෙන්නට තිබේ. සයිරිසා ආණ්ඩුවේ හිටපු මුදල් ඇමති යානුස් වරෝෆකිස් පසුගිය සතියේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ සයිරිසාව බලයට පත්කළ ජනතාවගේ අපේක්ෂා සිප්‍රාස් කඩ කරමින් සිටින බවයි. ඔහු මුදල් අමාත්‍යවරයාව සිට පසුගිය ජුනි 6වැනිදා සිප්‍රාස් විසින් අභ්‍යන්තර මතභේද මත ධුරයෙන් පහ කරනු ලැබීය.

වාම වේදිකාව යුරෝපා සංගම් කප්පාදු පිළිවෙත් වලට එකඟවීම හෙලා දකිමින් වඩාත් රැඩිකල් ස්ථාවරයන් මත පිහිටා සිටී. 2013දී පැවැති සමුළුවේදී වාම වේදිකාවට සයිරිසා මධ්‍යම කාරක සභාවේ 60%ක බලයක් හිමිවූ අතර පසුගිය මැතිවරණයෙන් තෝරාගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ 40%ක් වාම වේදිකාවට අයත්ය.

ඉදිරි මැතිවරණයේදී සයිරිසාව ජය ගනීද, වාම වේදිකාව තවදුරටත් එක්ව සිටීද, නැත්නම් වෙනම තරඟ කරයිද, එසේ බෙදී තරඟ කිරීම තුළ වාමාංශයට ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් බලයක් ලැබේද යන ප්‍රශ්න මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන සංවාදය තුල සාකච්ඡා වෙමින් පවතී.

Leave a Reply