විකල්ප පුවත්පත් කලාවට ‘කොලම‘ එකතු කළ සහ ‘සිත්තර‘ චිත්‍ර කතා පුවත්පත ආරම්භ කළ ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු හා කලාකරුවකු වූ චින්තන ජයසේන ඊයේ (02) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 68 හැවිරිදි වියේ පසු වූ ඔහු පුවත්පත් රැසක කතෘවරයෙක් වශයෙන්ද කටයුතු කළේය. සුප්‍රකට ‘කොලම‘ පුවත්පත හදුන්වාදෙමින් තීරු පුවත්පත් කලාවේ මූලාරම්භකයා වූයේ ඔහුය. 1973 දී ආරම්භ කළ ‘කොලම‘ තීරු පුවත්පත එවක බොහෝ ජනප්‍රිය විය. සමගි පෙරමුනු පාලනය විවේචනය කරමින් පටන් ගත් එම විකල්ප ප්‍රකාහනය පසුව නතර විය. එහෙත් 1993දී ඔහු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිවද එම පුවත්පත යළි පටන් ගත්තේය.
කලාකරුවකු මෙන්ම අපූර්ව මත දරන්නකු ලෙසද ඔහුගේ ක්‍රියාකාරිත්වය සලකුණු තබා ඇත. 70 දසකයේ ලංකා පවුල් සංවිධාන සංගමය විසින් පළමුවරට හදුන්වා දුන් පවුල් සැලසුම් ක්‍රමයට ‘ප්‍රිති‘ යන නම යෙදීම පමණක් නොව වික්ටර් රත්නායකගේ ‘ස‘ ප්‍රසංගයට නම තැබීමෙන්ද ඔහු සිය සුවිශේෂත්වය සටහන් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) බ්‍රහස්පතින්දා සවස 3.00ට ගල්කිස්ස සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.