ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත ඉන්දියානු ගිලන් රථ සේවය වෙනුවෙන් ලංකාවට එන්නේ ඉන්දියානුවන් හතර දෙනෙකු පමණක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ මාධ්‍ය හමුවකදී පැවසීය. මේ ගිලන් රථ සේවය නිසා ලාංකිකයන්ගේ රැකියා ඉන්දියානුවන් විසින් උදුරා ගනු ඇති බවට ඇති බිය හුඹස් බියක් බව ඔහු වැඩි දුරටත් පැවසීය. ඉන්දියානු ගිලන් රථ සේවා සපයන සමාගම් ලංකාවට කැඳවීමේ සැබෑ අරමුණ දැනට නිදහස් සෞඛ්‍ය සේවය යටතේ පවතින ගිලන් රථ සේවය පුද්ගලීකරණය කිරීමයි. මෙසේ ගිලන් රථ සේවය සමාගම් සතුවූ පසු අසාධ්‍ය රෝගීන්ට පවා ගිලන් රථ භාවිතා කිරීමට මුදල් ගෙවීමට සිදුවනු ඇත. එය සමාජ ආරක්ෂණ සේවාවන් වෙළඳ භාණ්ඩ කිරීමේ සහ සෞඛ්‍ය සේවය සමාගම් වල ලාභ උල්පතක් කර රෝගීන් මැරීමේත්, රෝගීන්ගේ ඥාතීන් නොමරා මැරීමේත් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසකි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සැබෑ ප්‍රශ්නය යටපත් කර ඉන්දියානු ශ්‍රමිකයන්ට එරෙහි විරෝධයක් ගොඩ නගමින් සිටින අතර එම තර්ක ආණ්ඩුව විසින් බිඳ දමමින් සිටී. සෞඛ්‍ය සේවය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීම මගහැර ඉන්දියානු විරෝධයකට ප්‍රශ්නය ලඝු කිරීම ආණ්ඩුවට සිය ජනතා විරෝධී ප්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීමට ඉඩ විවර කර ඇත. හර්ෂ ද සිල්වා ඊයේ සිදු කළේ එයයි. වැදගත් වන්නේ මෙරටට පැමිණෙන ඉන්දියානු ශ්‍රමිකයන් ගණන නොව මේ හරහා රෝගීන්ට සිදුවන ව්‍යසනයයි. සටන පෙරට ගත යුතුව තිබෙන්නේ එම ප්‍රතිපත්තියට එරෙහිවය.


