රාජපක්ෂ පාලන සමයේ බලවත් පුද්ගලයන් සම්බන්ධ විවිධ වංචා දූෂණ විභාග කිරීමට ‘අපරාධ දූෂණ වංචා සඳහා විශේෂ අධිකරණයක්‘ පිහිටුවිය යුතු බව ‘සාධාරණ සාමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ‘ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.
පසුගිය දා කොළඹ පැවැති ආගමික උත්සවයකට සහභාගි වෙමින් මහාචාර්යවරයා කීවේ මෙවැනි යෝජනාවක් කරන්නට සිදුව ඇත්තේ යැයි සිවිල් සමාජය ඉල්ලා සිටින රාජපක්ෂ පාලන සමයේ විවිධ වංචා දූෂනවලට චෝදනා ලැබුවන් අධිකරණ භූමියේම සිටම අධිකරණයේ ක්‍රියාදාමයට අවමන් වන ආකාරයට ප්‍රකාශ නිකුත් කරන නිසා බවයි. “අපිට දාපු නඩු තව දෙතුන් වතාවක් කල් යන කොට අපේ ආණ්ඩුවක් ඇවිල්ලා“ යැයි චෝදනාවට ලක්වූවන්ම උද්දාමයෙන් කියන විට අප යම් කිසි විකාරරූපී නාටකයක් නරඹමින් සිටින බවක් පෙනී යන බවද ඔහු කියා සිටී. ධන බලයත් එක්ක ගොඩ නැගුනු රඟ මඩලක රඟ දක්වන මෙවැනි නාටක නිසා ආණ්ඩුව පත්වී දැන් වසර දෙකක් ගතවීමට ආසන්නවීත් මෙතෙක් දූෂණ වංචා සිදු කළ බවට කිසිවෙක් දඬුවම් ලබා නැති බව ඔහු මෙහිදී අවධානයට ලක් කළේය.
තමන් යෝජනා කරන ආකාරයේ ‘විශේෂ අධිකරණයක්‘ සඳහා පවතින නීතියෙන් බාධාවක් නොමැති අතර ජූලි 18 වෙනිදා සිට සිවිල් බලවේග මේ වෙනුවෙන් සංවිධානාත්මක ක්‍රියාවලියකට රට පුරා ජනතාව හමුවේ අදහස් දක්වන බවද ඔහු ජනමාධ්‍යවේදීන්ට පවසා තිබිණි.