අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීම පිළිබද විරෝධය ප්‍රකාශ කිරීමට ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ’ විසින් අද(9) කොළඹදී ජනමාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබිණි.
මෙම ජනමාධ්‍ය සාකච්ඡාවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය යන ශිෂ්‍ය සංවිධානද, එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන දේශපාලන පක්ෂද, වමේ හඬ සහ විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය යන වාමාංශික සංවිධානද, ලංකා ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ප්‍රගති ගුරු සංගමය යන වෘත්තීය සමිතිද, තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයද සහභාගී වූහ.
එහිදී එම සංවිධාන නියෝජිතයන් විසින් දැක්වූ අදහස් මෙසේය.
සනත් බණ්ඩාර – වැඩ බලන කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය.
වත්මන් පාලකයෝ අපිට කිව්වා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක‍්‍රියාත්මක කළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වය විසඳන්නනම් රනිල් වික‍්‍රමසිංහ මෛතී‍්‍රපාල සිරිසේන ප‍්‍රමුඛ හවුල් ආණ්ඩුවට බලය දෙන්න ඕන කියලා. එහෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡාවකින් තමයි වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ. මේකට හේතු වුණේ පහුගිය රාජපක්ෂ පාලන සමයේ සටන් කරන බලවේගයන්ට විරුද්ධව ක‍්‍රියාත්මක වූ දැවැන්ත මර්දනය. ඒතනදී නිල මර්දනය වගේම නොනිල මර්දනයත් ක‍්‍රියාත්මක වුණා. කටුනායක කම්කරුවො, ඉන්ධන සහනාධාර ඉල්ලපු ධීවරයෝ, රතුපස්වල ජනතාව ප්‍රහාරවලට ලක්වීම ඊට උදාහරණ. ශිෂ්‍ය ව්‍යාපාරටය දැවැන්ත මර්දනයක් ක‍්‍රියාත්මක වුණා. දහස් ගණනක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එලියට දැම්මා, සිය ගණනක් හිරේ දැම්මා. සංජීව බණ්ඩාර සහෝදරයා සිරගත කළා. මෙන්න මේ වගේ තත්වයක් තුළ තමයි වත්මන් හවුල් ආණ්ඩුව පත්වුණේ.
දැන් මේ අයත් ඒ රාජපක්ෂවරු කි‍්‍රයාත්මක කළ නාට්‍යමයි ක‍්‍රියාත්මක කරන්නේ. ඒ තිරපිටමයි කි‍්‍රයාත්මක වෙන්නේ ඒ විධියටම නිල මර්දනය හා නොනිළ මර්දනය ක‍්‍රියාත්මක වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ගෙවල්වලට ගිහින් තර්ජනය කරනවා දෙමාපියන් පොලිසිවලට ගෙන්වලා දරුවන්ට දේශපාලනය කරන්න එපා කියලා බලපෑම් කරනවා. තමන්ගේ පුතා දේශපාලනය කිරීම නවත්තපන්. ගෙදර ගෙන්න ගනින් කියනවා. ශිෂ්‍යයෝ සිර ගත කරලා. කැළණිය විශ්විද්‍යාලයේ ශිෂ්‍යාවෝ තුන්දෙනෙක් ඇතුලූව එකොලොස් දෙනෙක් සිරගත කරලා. එහි ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයත් සිරගත කරලා තියෙන්නේ.
මෙවැනි තත්වයක් ඇතුලේ තමයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයාවත් සිරගත කරලා තියෙන්නේ. දැන් ලහිරු වීරසේකර සහෝදරයාට තියෙන චෝදනාව තමයි උසාවි නියෝග කඩ කළා. උසාවියට අපහාස කළා කියලා. නමුත් අපි පහුගියකාලයක් තිස්සේ අරගල කළේ උසාවියත් එක්ක තියෙන ප‍්‍රශ්නයක් බේරගන්න නෙවෙයි. අපි සටන් කළේ මේ පාලකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදිය සම්බන්ධයෙන් තියෙන ප‍්‍රතිපත්තිත් එක්ක. අපි පාගමන් ගියේ උද්ඝෝෂණ කළේ මේ ආණ්ඩුවට මේ තියෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් උත්තර දෙන්න කියලා බල කරලා.
මෙතනදී ඒ ප‍්‍රශ්න වලට පහුගිය ආණ්ඩුව වගේම මේ අයත් කළේ ඒවට උත්තර දෙනවා වෙනුවට ඒ අයගේ නිල මර්දන යාන්ත‍්‍රණය, යොදවලා උසාවි භාවිතා කරලා. පොලිසිය පාවිච්චි කරලා මර්දනය කිරීම. ලහිරු සහෝදරයා කරලා තියෙන වැරැද්ද මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම.
අධ්‍යාපනය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අනෙකුත් සෑම දෙයක් සම්බන්දයෙන්ම මේ පාලකයන්ගේ ප්‍රතිපත්තිය මේකමයි. අපි කියනවා මේ ප‍්‍රශ්න වලට අරගල කිරීම ඇරෙන්න වෙන විකල්පයක් නෑ. එතැනදී අපි දන්නවා ඒ සෑම බලවේගයකටම විරුද්ධව ආණ්ඩුවේ මර්දන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වෙනවා. අරගල ජය ගන්න නම් මේ මර්දනය කියන පවුර බිඳ දාන්න ඕන. ඒ වෙනුවෙන් ගොවියෝ ධීවරයෝ මේ සියලූ දෙනා එකතු වෙන්න ඕන. අපි පාලකයන්ට මතක් කරනවා මේ වෙලාවේ ශිෂ්‍ය නායකයෝ සිර ගත කරලා මේ අරගල නවත්තන්න හිතනවා නම් ඒක විහිලූවක්. අපි බල කරනවා සියලූ සිසු ක‍්‍රියාකාරීන් වහාම නිදහස් කරන්න. ඒ වෙනුවෙන් සියලූ බලවේග සමග එක්ව අපි බලපෑම් කරනවා.
සිරිතුංග ජයසූරිය, එක්සත් සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම්
අද අපි හදිසියේ මෙම පුවත්පත් සාකච්ඡාවක් කැඳවන්න තීරණය කළේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරන්න.
ආණ්ඩුවට වයස යන්තම් අවුරුදු එක හමාරයි. මේ වෙනකොට මේ අය පෙන්නුම් කරලා තියෙනවා පොලිසිය අධිකරණය කියන මේ ආයතන නීතිය කියන දේට මුවා වෙලා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න අය දඬු කඳේ ගහන එක තමයි මේ අයගේ එකම ක‍්‍රියාමාර්ගය වෙලා තියෙන්නේ. මේක බරපතල ප‍්‍රශ්නයක්. මිනිස්සු සටන් කරලා දිනා ගෙන තියෙන අයිතීන් කප්පාදු කරනකොට පාලකයන් ඒවා දෙන්නේ නැති නම් සටන් කරනවා ඇර කම්කරුවන්ට ගොවියන්ට තරුණයන්ට වෙන දෙයක් නෑ.
මීට වඩා හුඟක් දරදඬු ආණ්ඩුත් එක්ක ලංකාවේ ගොවි ජනතාව තරුණයෝ කම්කරුවෝ සටන් කරලා තියෙනවා. මීට වඩා ලොකු ආණ්ඩු පෙරලා තියෙනවා.
ලෝකෙත් එහෙමයි. බටහිට වගේම මේ මෑතකදී මහා ලොකු මෝඩිගේ ආණ්ඩුවට එරෙහිව කාන්තාවන්ගේ විරෝධතාව. ගල් පර්වතයක් වගේ ඉන්න මෝඩිට පසු බහින්න සිදු වුණා.
ඒ නිසා මේ මෛත‍්‍රීට රනිල්ට වැරදිලා තියෙන්නේ. මෙහෙම මර්දනය කරලා මේ ප‍්‍රශ්න විසඳන්න බෑ. කුමාර් ගුණරත්නම්ව නීතිය භාවිතා කරලා දේශපාලන වශයෙන් දණ්ඩනයකට යටත් කරලා තියෙනවා. අද ලහිරුට කරලා තියෙන්නේත් දේශපාලන පළිගැනීමක්. මේක ලහිරුගේ පුද්ගලික ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ අධ්‍යාපනය විකුණනවාට විරුද්ධව සටන් කරලා. අපි ආණ්ඩුවට කියනවා මේ විධියට යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදීමක්. ඒ නිසා වහාම මේ අය නිදහස් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.
ධර්මසිරි ලංකාපේලි – වමේ හඩ සංවිධානය
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර අත්අඩංගුුවට අරගෙන තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි නවක වදයට විරුද්ධවයි කියමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 8 දෙනෙකුත් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකුත් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ආණ්ඩුව හිතනවා නවකවදය පිටින් දාලා මේ දිගහැරෙමින් තිබෙන ශිෂ්‍ය සටන් නවත්වන්නට පුළුවන් කියලා.
දැන් මේ ආණ්ඩුව ගොඩනැගෙන්නෙම මේ සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශිෂ්‍යයන්ගේ , ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය වලදානවා ඒ නිසා ඒ අයිතීන් තහවුරු කරන්න තමයි රනිල් මෛත‍්‍රී ආණ්ඩුව බලයට පත්වුණේ. රනිල් වික‍්‍රමසිංහ එදා විපක්ෂයේ ඉන්න කාලේ විශ්වවිද්‍යාල ආචාර්යවරු දැවැන්ත අරගලයක් ගෙනිච්චා. ඒ සටනේදී රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා හැටියට එදා කරපු ප‍්‍රකාශය අද අමතක කරලා තියෙනවා. අද අපිට පේනවා ඕනෑම ධනපති ආණ්ඩුවක් බලයට පත්වූ පසු පෙර කරපු ප‍්‍රකාශ සියල්ල අමතක කර ධනපති ක‍්‍රමයට අදාළ සමාජ දේශපාලන ආර්ථික ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කරන බව. එදා දහසක් දෙදහසක් හරි එලියට දාලා හරි මේ ශිෂ්‍ය සටන් නවත්වනවා කියලා පාරම්බාපු එස්.බී. දිසානායකත් ඉන්න කැබිනට් මණ්ඩයක් තියෙන ආණ්ඩුවක් මේක. ඒ නිසා අපි පුදුම වෙන්නේ නෑ. මේ ශිෂ්‍ය මර්දනය ගැන. ඒ නිසා සිසු සටන් විතරක් නෙවෙයි සියලූ සටන් කරන බලවේග වලට එරෙහිව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ’ විධියට අපි මේ සියලූ සංවිධාන හා එක්ව අරගල කරනවා.
මහින්ද දේවගේ – සමාජවාදී පක්ෂය
අපිට සතිපතා මාධ්‍ය හමු පත්වන්න වෙලා තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජගත කරනවා කියලා බලයට ආපු පාලකයන්ට එරෙහිව. මේ අධිකරණය අපේ නෙවෙයි. මේක ධනපතියන්ගේ අධිකරණය. මහා වංචාකරයෝ නීතිය ඉදිරියට ගේනවා කියපු පාලකයෝ ඒ මොණවත් කළේ නෑ. එදා ආණ්ඩුවේ මර්දනය ඡායාරූප ජනතාවට පෙන්නලා කිව්වා නිදහසේ කතා කරන්න ඉඩ දෙනවා කිව්වා. මේවා සියල්ල අද මිරිගුවක්. වෙලඳ ව්‍යාපරිකයෝ වැට් බද්ධට එරෙහිව පාරට එනවා. පහුගිය කාලේ උසාවි නියෝග කඩ කලා ඒකාබද්ධ විපක්ෂය. ඒ අයට මොණවත් නෑ. පොඩි මිනිහට විරුද්ධවයි මේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ. මේ ශිෂ්‍යයෝ අනෙකුත් ජනතාවගේ සහය ඇතිව පෙරමුණේ හිටියෝ ශිෂ්‍යයෝ. ඒ රාජපක්ෂ ආණ්ඩු කාලයේ. අද මේ අය දෙනවා කිව්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සලූ පිලි මුදා හැරලා. ළහිරු සහෝදරයා අත්අඩංගුවට ගැනීම හරහා තවත් සිය දහස් ගණනක් ශිෂ්‍යයෝ පාරට බැහැලා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමේ සටන ඉදිරියට යනවා. ඒක නවත්වන්න බෑ.
දිනුක සපුතන්ත‍්‍රී – ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
ළහිරු සහෝදරයා නීතියට මුවා වෙමින් කරන මේ කරන සිිරගත කිරීමට අපි විරෝධය දක්වනවා. මේ කියන්නේ ඕන දෙයක් කරන්න දේශපාලනය කරන්න එපා කියාලා. පොලිසිය කියනවා සාමකාමී ලෙස උද්ඝෝෂණ කරන්න ජනතාවට පීඩාකාරී වෙන විධියට යන්න එපා කියලා. මේ කියන්නේ ගත වෙන තප්පරයක් ගානේ පීඩාවට පත්වෙමින් ඉන්න සමාජයකට. ඒ ගොල්ල එන්න ඕන නෑ අපිට දේශපාලනය කරන හැටි උගන්වන්න. උද්ඝෝෂණය කරනවා කියන්නේ කඨින පෙරහැරක් යනවා වගේ වැඩක් නෙවෙයි. ඊනියා ලිබරල් වටිනාකම් අනුව දේශපාලනය කරනවා කියලා එකක් අපේ නෑ. උන්ට පුළුවන් ඕන දෙයක් කරන්න. අපිට කියනවා අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්න එපා කියලා. දේශපාලනය තුළ අති පසමිතුරුතා මත සමාජ වෙනසක් වෙනුවෙන් අරගල කරන සහෝදරවරු මේ අය. අපි බිස්නස් කරන එක නෙවෙයි කරන්නේ. අපිට ඕන විදියට අපි දේශපාලනය කරන්නේ.
දැන් කවුරුවත් කුදලාගෙන ගිහින් දාල තියෙනවාද ඔය පාර්ලිමේන්තු දවස්වල උන් පාරවල යන විධියට. ඔය රනිල් වික‍්‍රමසිංහලා මෛත‍්‍රීපාල සිරිසේනලාට ඔය නීති අදාලද? පීඩනයට එරෙහිවයි කම්කරුවෝ ශිෂ්‍යයෝ මේ සටන් කරන්නේ ඒක ඔය විධියට නවත්වන්න බෑ. ඉදිරියේදී ඕක තව වැඩි වෙනවා. අපි හැමෝම ඒ වෙනුවෙන් එකතු වෙන්න ඕන.
පුබුදු ජයගොඩ – පෙරටුගාමී සමාජවාදි පක්ෂය
අපි ආණ්ඩුවට බල කරනවා ලහිරු වීරසේකර සහෝදරයා ඇතුලූ කැළණිය විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුලූ සියලූ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් නිදහස් කරන කියලා. පහුගිය රාපක්ෂ ආණ්ඩුවට එල්ල වෙලා තිබුණු ප‍්‍රධානම චෝදනාව තමයි මර්දනය සඳහා පවතින නීතිය ඉක්මවා කටයුතු කරනවා කියන එක. ඒක වැරදියි කියලා සාකච්ඡුාව වර්ධනය වෙන්න ඉඩ නොදී වත්මන් ආණ්ඩුව බලයට එනකොට ගෙනවා නීතියේ ආධිපත්‍ය කියලා. දැන් ඒ නීති ආණ්ඩුවට හිතවත් අයට එක විධියටයි ආණ්ඩුවට බලපෑම් කරන අයට එක විධියකටයි දැන් ක‍්‍රියාත්මක වෙනවා. අපි මේක එදා කිව්වා.
දැන් අධිකරණයේ නියෝග නොසලකා හැරපු එකම කෙනා ලහිරුද. මිට කලින් ලලිත් හා කුගන් යාපනේදී අතුරුදන් වීමට අදාලව යාපනේ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් හිටපු කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලට වරෙන්තු නිකුත් කළා. මේහෙම කළේ අවුරුදු දෙකක් තිස්සේ අධිකරණයේ නියෝග නොතකා හැරීමෙන් පස්සේ. ඊටත් මාස හයකට පස්සේ ඔහුටම හිතිලා ඔහුම මෝසන් එකක් දාලා උසාවියට ඉදිරිපත් වෙනකම් පොලිසිය මොණවත් කළේ නෑ. එතැනදී පොලිස්පතිවරයාත් අධිකරණ නියෝග කඩ කරලා.
උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා කියලා මේ නිතියේ පිළිගන්නවා. ඒ නිකන් නෙවෙයි අවුරුදු සිය ගණන් මිනිස්සු අරගල කරලා ඒවා මේ අයට නීති පොත් වල ලියන්න වුණා. මේ නිසා දැන් මේ අය ඒ නීති පොත් වල තියන වෙන දේවල් භාවිතා කරලා තමයි මර්දනය ක‍්‍රියාත්මක කරන්නේ.
මම්මාවත් ආඥාපනත, පොදු දේපල වලට අදාල නීති. මහජන පීඩාවට අදාළ නීති ආදිය තමයි මෙහිදී පාවිච්චි කරන්නේ. අපිට අදාලව කොටුව දුම්රියපොල ඉදිරිපිට අපේ විරෝධතාවට නඩු දාලා තියෙන්නේ දුම්රිය ආඥාපනතතේ. මේ නියෝග ත‍්‍රියාත්මක කරන්න බැ. මේ නියෝග දෙන විධිය වැරදියි. මේ නියෝග දෙන වෙලාවේ පොලිසිය විතරයි උසාවියේ ඉන්නේ. මේ නීති වලට යටත් වෙන කෙනාට කතා කරන්න වත් ඔහුගේ නීතිඥයාට කතා කරන්න වත් කතා කරන්න බෑ. දැන් මහජන පීඩාව ගැන කතා කරනවා නම් අපි කියනවා වැට් බද්ධ වැඩි කළ පාලකයන්ටත් මහජන පීඩාව යටතේ නඩු දාන්න කියලා. මොකද ඒක අද විශාල ප‍්‍රශ්නයක්.
ඒ නිසා පැහැදිළිව මේ ආණ්ඩුව කරන්නේ මර්දනයක්. ළහිරු අත්අඩංගුවට ගන්නේ මාලඹේ සයිටම් වලට එරෙහිව සටනක් තියෙන වෙලාවක. ඒ නිසා මේක නීතිය භාවිතා කරලා කරන මර්දනයක් මේකට විරුද්ධව සියලූ දෙනා පෙළගැසිය යුතුයි විරෝධය දැක්විය යුතුයි.
ජෝසප් ස්ටාලින් – ලංකා ගුරු සංගමය
ආණ්ඩුව එක පැත්තකින් උද්ඝෝෂණය කරන්න දිල තමයි අධිකරණය පාවිච්චි කරලා මර්දනය ගෙන්නේ. අනික් පැත්තෙන් මහජන පීඩාවක් ද නැද්ද කියලා කියන්නේ පොලිසිය.
දැන් නීති කඩකලා කියලා ලහිරු අත්අඩංගුවට අරන් තියෙනවා. අපි කියනවා සැලසුම් සහගතව නීතිය පාවිච්චි කරලායි මේක කරලා තියෙන්නේ. දැන් අත්අඩංගුවට ගන්න ඕන අය ගන්නේ නෑ. පාසල් අධ්‍යාපනය පිළිබඳ පහුගිය කාලයේ පාසල් තුළ මුදල් එකතු කිරීමට අයිතිය දීලා. ශිෂ්‍යයෝ මීට එරෙහිව අරගල කරා. දැන් ආයෙත් අසූ ගනන් වල ගෙනාපු පාසල් සංවර්ධන මණ්ඩල පනත් ගේන්න යනවා. මේවට විරුද්ධව සටන් කරනකොට නීතිය පෙන්නලා අත්අඩංගුවට ගන්නවා. අපි ආණ්ඩුවට බල කරනවා වහාම මේ ක‍්‍රියාමාර්ග නවත්වන්න. ශිෂ්‍ය ක‍්‍රියාකාරින් නිදහස් කරන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න කියලා.
රොෂේන් චමින්ද – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
රාජපක්ෂ සමයේදිත් සිදුවූ මර්දනයට එරෙහිවයි සිවිල් සංවිධාන මැදිහත්වෙලා මේ ආණ්ඩුව නිර්මාණය කළේ. ඒ හින්දා අපි කියනවා. පහුගිය ආණ්ඩුව වගේම වැඩ කරන්නේ නැතිව, තව බොහෝ විධි තියෙනවා මේ ප‍්‍රශ්න බේරන විධි. මේ ශිෂ්‍යයෝ එක්ක කතා කරන්න. ඔවුන්ගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන්න. එහෙම නැතිව මර්දනය ගෙන එනවා නම් අපි ඊට විරුද්ධයි.
සරත් කහගල්ල – ස්වාධීන ලංකා ගුරු සංගමයේ ලේකම්
පළමු කොටම මේ ධනේෂ්වර නීතිය භාවිතා කරලා ළහිරු වීරසේකර සහෝදරයාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ මේ රටේ සටන් කරන සියලූ බලවේග සමග අපි අපේ බලවත් අප‍්‍රසාදය හා පිළිකුළ ප‍්‍රකාශ කර සිටිනවා. අපි දැක්කා එදා මහින්ද රාජපක්ෂ හා අද රනිල් කියන්නේ එකම කෝවක ඉන්න අය. අද මේ අය ජනතාව වෙනුවෙන් කරන කිසි දෙයක් නෑ. තමන්ගේ නොහැකියාව වහගන්නේ මර්දනය ක‍්‍රියාත්මක කරලා. මේක ඉස්සරහට යනවා. නිදහස් වෙළෙඳ කාලපයේ, යාල පානම ගොවීන්ගේ ඉඩම් මංකොල්ල කනවා. ඒ නිසා මේ සියලූදේට විරුද්ධව ගොවි කම්කරු ශිෂ්‍ය මේ සියලූ දෙනා ඒකාබද්ධව මේ අරගල වෙනුවෙන් පෙරට ආ යුතුයි. අපිත් ඊට එකතුවෙනවා. ඒ වගේම යහපාලනය වෙනුවෙන් නිල නොවන ලෙස පෙනී සිටිය අය අද වෙස් මූණු මාරු කරනවා. ඒ අය අද වීරයන් වෙන්න යනවා. මේ අයගෙන් පරිස්සම්ව අපි ඉදිරියට යා යුතුයි.
මයුර සේනානායක – ප‍්‍රගති ගුරු සංගමය
අපි ගුරුවරු අපෙන් ඉගෙන ගන්න දරුවෝ අපෙන් ඉගෙනගත්ත දරුවෝ මහන්සිවෙලා පාඩම් කරලා විශ්වවිද්‍යාල වලට එනවා. මේ අය දක්ෂ දරුවෝ. ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ ආශිර්වාදෙනුයි විශ්වවිද්‍යාලයට එන්නේ. එහෙම ආපු දරුවෝ තමන්ට තියෙන ප‍්‍රශ්න ගැන විරෝධතා දැක්වූවාම පොලිසිය දාලා ඒ අයට ගහනවා. ළහිරු කියන්නේ අධ්‍යාපන වෙනුවෙන් පෙනී ඉන්න සහෝදරයෙක්. මෙතනදි අපට මතක් වෙනවා ධවල පත‍්‍රිකාවට එරෙහිව ශිෂ්‍යයෝ කරපු අරගලය. මේ අය ඒ කාලේ ඉඳලාම අරගල කරනවා. අපි කියන්නේ මේ දරුවන්ට ගහනකොට මේ දරුවන්ගේ දෙමාපියන්ට වගකීමක් තියෙනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න. මම චෝදනා කරනවා දෙමාපියන්ට ඇයි මේ අපේ දරුවෝ මේ රටේ අනාගතය වෙනුවෙන් පෙනී ඉන්න දරුවෝ මේ අය වෙනුවෙන් දෙමාපියෝ පෙනී ඉන්න ඕන. මේ ශිෂ්‍යයොන්ට ගහන එක නවත්වන්න ඕන. මේ දරුවෝ ගැන බලන්න ඕන.
විශ්වවිද්‍යාල වල දරුවෝ හිරේ දාලා. කුමාර් ගුණරත්නම් සහෝදරයා වගේ අය හිරේ දාල. මේවා යහපාලනයට ගැලපෙන දේවල් නෙවෙයි. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයි. ඒ නිසා සියලූ දෙනා මීට එරෙහිව පෙළ ගැසිය යුතුයි.
මීට අමතරව මෙම මාධ්‍ය හමුව සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, තරුණ නීතීඥ සංගමයේ කෞෂල්‍ය සමින්ද බණ්ඩාර සහ විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයේ ඒ.ඩි.පී.රත්නායක සහෝදරයා සම්බන්ධ වූහ.