අතුරුදන් වූවන් පිළිබද උද්ඝෝෂණය-දෙසැම්බර් -10

sama aithiya logo

සම අයිතිය ව්‍යාපාරය විසින් දෙසැම්බර් මස 10 වන දින අතුරුදහන්වූවන් පිළිබදව පවත්වනු ලබන උද්ඝෝෂණය පිළිබදව දැනුවත් කර  අප වෙත එවන ලද මාධ්‍ය වාර්තාව පහත පළවේ.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 10 දිනටය. 2011 වසරේ මානව හිමිකම් දිනය උදාවූයේ ඊට පෙරදා අතුරුදන්වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් පිළිබද ඛේදනීය පුවතද සමගිනි.

අසමානතාවය, අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩ නැගූ අරගල කළ දේශපාලන කි‍්‍රයාකාරිකයෙකු පමණක් නොව උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන්ද දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ද හඩ නැගූ කි‍්‍රයාකාරී වූ ලලිත්, තමිල් ජනතාවගේ පුතණුවකු සේද සොයුරකු සේද සමීපව කටයුතු කළ හෘදයාංගම මානව හිමිකම් කි‍්‍රයාධරයෙකු විය.

උතුරේත් දකුණේත් දේශපාලන කි‍්‍රයාධරයින්, මාධ්‍යවේදීන්, සමාජ කි‍්‍රයාකාරිකයින් ආදි බොහෝ දෙනෙක් අතුරුදන් කරවූ වටපිටාවක 2011 දෙසැම්බර් 09වැනිදා ලලිත් සහ කුහන් අපට අහිමි කරවීය.
පසුගිය රාජ්‍ය පාලන සමයේ සමාජ කි‍්‍රයාධරයින් පැහැර ගත් බවත් අතුරුදන් කරවූ බවත්, ඊට අදාළ වටපිටාවක් පැවති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද සමහර මාධ්‍ය හමුවේ පිළිගනිමින් ප‍්‍රකාශ ඉදිරිපත් කරයි.

නිර්ලජ්ජිත ලෙස තමන්ගේ දේශපාලන බල අධිකාරිය කි‍්‍රයාවට නැංවූ ආකාරය ස්වේච්ඡාවෙන් හා සැහැල්ලුවෙන් ප‍්‍රකාශ කරද්දී වුවද ඊට අදාළව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ විධිමත් පරීක්ෂණ කිරීම උදෙසා වත්මන් ආණ්ඩුව කිසිදු සූදානමක් නැත.

දේශපාලන බලය ලබා ගැනීමේ සටන් පාඨ පමණක් ලෙස ඒවා පුනරුච්ඡාරණය කළද සැබෑ ලෙසම ඒවාට එරෙහිව කි‍්‍රයා මාර්ග ගැනීමේ වුවමනාවක් වත්මන් ආණ්ඩුවට නොමැති බව එහි කි‍්‍රයාකාරීත්වය විසින් වඩ වඩාත් ඔප්පු කරමින් සිටි.

71දීත් 89දීත් උතුරේදීත් දකුණේදීත් කිසිදු වග විභාගයකින් තොරව සුවහසක් මිනිස් ජීවිත අහිමි කරන ලදි. මෙකි දේශපාලන සංස්කෘතියෙහි නිමාවක් පිළිබද කිසිදු ඉගියක් හෝ නැතග එහෙත් මිනිස් ජීවිතයක වටිනාකම පිළිබද තක්සේරුවක් ඇතිල සමාජ කි‍්‍රයාකාරිකයින් රටට අහිමිවීමේ විපාක පිළිබද දැක්මක් ඇති, මිනිස් ජීවිත ගැන මානව දයාවක් හැගීමක් ඇති මිනිසුන් මෙම දේශපාලන සංස්කෘතියට එරෙහි වෙති. විරෝධය පළ කරති. කි‍්‍රයාකාරී වෙති.

එවන් හෘදයාංගම මිනිසුනි, නිහඩ බව බිද, ඔබගේ විරෝධයද, එරෙහිවීමද දක්වන්න, සම අයිතිය ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරය දෙසැම්බර්-10 මධ්‍යාහ්න 12.00ට කොළඹ කොටුවේදී පැවැත්වේ. ඒ සදහා ඔබගේ සහභාගීත්වය ලබාදෙන්න.