විපක්ෂයේ මහින්ද රාජපක්ෂ හිතවාදීන් විසින් ගෙනයන පාද යාත්‍රා ක්‍රියාවලියට අධිකරණ නියෝග ගැනීමෙන් මුහුණ දෙන්නට ආණ්ඩුව ගත් උත්සාහයන් ගණනාවක් ව්‍යර්ථ වී ඇත.
පසුගිය 28 වැනිදා මහනුවරින් ආරම්භ වූ මෙම පාගමනට මාවනැල්ල, කෑගල්ල, අත්තනගල්ල, ගම්පහ සහ කඩවත යන ස්ථානවලට අයත් අධිකරණ උපයෝගි කරගෙන බාධා පමුණුවන්නට ආණ්ඩුවේ හිතවතුන් හා රාජපක්ෂ විරෝධීන් ගත් උත්සාහය නිශ්ප්‍රභා වී ඇත. රාජපක්ෂ ආණ්ඩුව සමයේ විරෝධතාවලට අධිකරණ නියෝග තුලින් බාධාකිරීම් සිදු වූ ආකාරයටම බාධාකිරීමේ උත්සාහයක හවුල් ආණ්ඩුවද නිරතවන බව පෙනී යයි.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ ජනතාවගේ විරෝධතාවලට වෙඩි තැබීම, අයිතිවාසිකම් ඉල්ලා සිටි කම්කරුවන් හා සරසවි ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණ හා පා ගමන්වලට කදුලු ගෑස් – ජලප්රහාර එල්ලකර, එය සාධාරණිකකරණය කරන්නට මුල් වූ පිරිසක් දැන් ආණ්ඩුවේ මර්දනයට එරෙහි පාගමන්වල නිරතවීම සරදම් සහගතය. අනෙක් අතට එවැනි ප්රජාතන්ත්ර විරෝධී පාලකයන් පලවා හැර පිහිටුවන ලද ඊනියා ‘යහපාලන‘ ආණ්ඩුවද එවැනි පාගමන්වලට මර්දනයෙන් පිලිතුරු දීමද සරදම් සහගතය. එසේම මේ සියලු සරදම්කාරී තත්වයන් ජනතාවගේ පැත්තෙන් කිසිදු වාසියක් අත්කර දී නැත.



